Tuesday, January 27, 2009

දැන් ඉතින් සමුගන්න වෙලාවයි

ආන්නා පොලිකොව්ස්කායා රුසියානු මාධ්‍යවේදිනියකි. වෙඩි තබා ඝාතනය කරන ලද ඇගේ මළ සිරුර 2006 ඔක්තෝම්බර් 07 වනදා මොස්කව් හි ඇය ජීවත් වූ මහල් නිවාසයෙහි විදුලි සෝපානයෙහි දමා තිබියදී හමුවිය. මරා දමන විට ඇයගේ වයස අවුරුදු හතළිස් අටකි. ඇගේ මරණය නිමිත්තෙන් ඇල්ජීරියානු කවියෙකු හා ලේඛකයෙකු වන තහාර් ජාවුට් මෙසේ ලියුවේය.

Silence means death
if you talk, you're dead
If you stay silent, you're dead
So go ahead - talk and die

කතා කිරීමේ, ලිවීමේ සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සම්පුර්ණයෙන්ම අහෝසි ව යන අවදියක් කරා අපේ රට ළඟා වී ඇත.
දෛවයේ සරදම වන්නේ එවන් යුගයක් පරාජය කර එම නිදහස භුක්ති විඳින තත්ත්වයක් ඇති කරගත් අපට නැවතත් සම්පුර්ණ වටයක් ගමන් කොට වෘත්තයේ මුලටම පැමිණීමට සිදුවීමයි.
එදා අයිතිවාසිකම් උදුරා ගත්තවුන් අද වෙනුවෙන් සටනට එක් වී ඇති අතර, එදා අයිතිවාසිකම් වෙනුවෙන් උරෙනු’ර ගැටී සටන් කළ අය අද අයිතිවාසිකම් උදුරා ගන්නාගේ භූමිකාව භාරගෙන ඇත.
‘සමබිම’ 50 වන කලාපය අප නිකුත් කරන්නේ එවැනි වාතාවරණයකය.
වාරණයේ ඉහළම ස්වරූපය ‘ඝාතනය’ බවට පිළිගැනීමක් ඇත. නිල මාධ්‍ය වාරණයක් නොපවතිතත් පසුගිය කාලය තුළම අප විවිධ මාධ්‍යයන්හි අත් දුටුවේ ස්වයං වාරණයකි. ලසන්ත වික‍්‍රමතුංග මහ දවාලේ කොළඹ අධි ආරක්ෂක කලාපයක් තුළ අමු අමුවේ වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟම අප ඒ වාරණයේ උපරිම මට්ටමට පැමිණ ඇති අතර, ‘ඩවුන්’ යාමට බලකෙරී ඇත.
කතා කිරීමට නොහැකි අවස්ථාවක කළ යුත්තේ නිහඬවීම බව දාර්ශනියෙකු වූ විට්ගන්ස්ටයින් කියා ඇත.
මේ වාතාවරණය තුළ අපට විට්ගන්ස්ටයින් අනුගමනය කිරීමට බලකෙරී ඇත. එයට හේතුව ජීවත්වීමේ නිදහසට සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසට ඇති අයිතිවාසිකමට එල්ල වී ඇති තර්ජනයට මුහුණදීමට අවශ්‍ය හැකියාව මේ මොහොතේ අප සතුව නොමැති බැවිනි.
එබැවින් ‘සමබිම’ 50 වන කලාපය නිකුත් වන මේ මොහොතේ ‘සමබිම’ නැවැත්වීමට අපි තීරණය කළෙමු.
දැන් ඉතින් ඉතිරිව ඇත්තේ ජීවත් වීමේ නිදහස සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් සටන් කරන පුළුල් ජන බලවේගයක් ගොඩනැංවීම පමණකි.
වෙනත් කිසිදු ගැලවුම්කරුවෙකු අප වෙනුවෙන් මැදිහත් නොවන බව දැන් සක් සුදක් සේ පැහැදිලිය.

ඉතින්, අපි සමුගනිමු. තාවකාලිකව වෙන්වෙමු.
අයිතිවාසිකම් පිළිබඳ සංවාදයක් නැවත ඇරඹීමට හැකි අවකාශයක් ද, ඒ සඳහා අවශ්‍ය ශක්තිය ද ගොනු කර ගත් මොහොතක නැවත හමුවෙමු.
එතෙක් ආයුබෝවන්.
අපට සහාය දුන් ඔබ සැමට ස්තූතියි.
Rights Now සංවිධානය


back to Home