Thursday, June 4, 2009

මදුරුවන්ට පුරුදු කරමු මල්පැණි බොන්න....

ඩෙංගු මාරාන්තික බව දැනුණේ දැන් යැයි ඩෙංගු උණ වැළඳී අමාරුවෙන් ගොඩ ආ මිත‍්‍රයෙකු පසුගිය දවසක අප සමඟ කීවේය. පසුගිය දිනවල ඔහු සිටි මරුවිකලේ හැටියට මේ වචන ටික හෝ ඔහුගේ කටින් පිටවීම ගැන අපට සන්තෝෂය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් තුළ වගකීම් රහිත බව හා නිශ්ක‍්‍රීයභාවය හේතුවෙන් පුරවැසියන් කිසිදු ආකාරයක අවදානමකට ලක් කිරීමට රජයකට නොහැක. මේ අවස්ථාවේ ඩෙංගු සමඟ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පටලවා ගැනීම වසර තිහකට පසු යුද්ධය නිමා වී ප‍්‍රීතියෙන් සිටින බොහෝ දෙනෙකු දේශද්‍රෝහී කමක් ලෙස පෙනී යාමට ඉඩ තිබේ. නමුත් කණගාටුවෙන් වුවද කීමට ඇත්තේ මේ දෙක ඉබේ ම එකට පටලැවී ඇති බවය.
සාමාන්‍යයෙන් ලංකාවේ වසංගත රෝග සීඝ‍්‍රයෙන් පැතිර යන කාලසීමාවන් දෙකකි. ඒ ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වාත්, මැයි සිට ජූලි දක්වාත් ය. ඩෙංගු උණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහ පාලනය හා සම්බන්ධ වන්නේ මෙතැනින්ය. රටක වසංගත රෝග පැතිර යාම හා පුරවැසි ජීවිත අවදානමකට ඇද වැටීම පිළිබඳ වගකීම එරට රජයට පැවරේ. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා නොමිලේ ලබා දෙන ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මෙන්ම එක්තරා ආකාරයක සුභසාධනවාදී රාජ්‍යයක් ලෙස පෙනී සිටී. රජයට සේම මෙම වගකීමේ සැළකිය යුතු තරම් කොටසක් ජනතාවටද පැවරේ. ඩෙංගු මෙතරම් සීඝ‍්‍රයෙන් රට පුරා පැතිර යමින් ජන ජීවිතය අවුල් කරන තත්ත්වයකට එන්නේ නම් වරද ඇත්තේ කොතැනද? මදුරුවන්ගේද? නැත. වරද රජයේ සහ මහජනතාවගේය. පසුගිය අප්‍රේල් මාසයේ ගතවූ දින පහළොවක් තුළ පමණක් වාර්තා වී තිබූ ඩෙංගු රෝගීන් ගණන 59 ක් වූ අතර ඉන් 04 ක් මිය ගියහ. මේ වන විට කොළඹ, කැළණිය, ගම්පහ, හෝමාගම, පිළියන්දල, දෙහිවල හා අකුරණ අවදානම් ප‍්‍රදේශ ලෙස පසුගිය සතියේ වසංගත රෝග ඒකකය නම් කළේය. ගතවූ මාස දෙක තුළ කොළඹ, නුවර, රත්නපුර, කලූතර, කෑගල්ල යන දිස්ත‍්‍රික්ක වලින් වාර්ථා වූ රෝගීන් ගණන 2500 කි. දැනට වාර්ථා වී ඇති මුලූ රෝගීන් ගණන 6689 ක් හෝ ඊට වැඩි විය හැකිය. මිය ගිය ගණන 90 දක්වා ඉහළ ගොසිනි. එය පසුගිය වසර වලට වඩා 45% කටත් වඩා වැඩි වර්ධනයකි.
ගතවූ මාස කිහිපය තුළ ඩෙංගු වර්ධනය වීමට සමගාමීව යුද්ධයේ ස්වභාවයද වඩාත් වර්ධනය විය. සියලූ ලාංකික මාධ්‍යවල එකම ජාතික වගකීම යුධ පුවත් වාර්ථාකරණය වන විට ඩෙංගු ව්‍යාප්තිය ඇතුළු අනෙක් සියලූ සිදුවීම් වලට හිමි වූයේ ඔවුනොවුන්ගේ න්‍යාය පත‍්‍රවල අවශේෂ ස්ථානයන්ය. රජයේ ජාතික වගකීම වූයේද යුද්ධයම පමණි. ආසියානු මානව හිමිකම් කොමිසමේ වෙබ් අඩවියේ පළ වු නීතිඥ බැසිල් ප‍්‍රනාන්දුගේ Dengue Fever and Dysfunctional Democracy නම් ලිපියට අනුව ඉකුත් කාලයේ සූකර උණ පැතිරී, පළමු මිනිස් මරණය සිදුවන විටම මෙක්සිකෝ රාජ්‍යය ඒ පිළිබඳ සිය රට මෙන්ම අනෙක් රාජ්‍යයන්ද දැනුවත් කළේය. එය ලොව පුරා වෛරසය පැතිරයාම වළක්වා ගැනීමට බොහෝ ප‍්‍රයෝජනවත් විය. ජනතාව වෙත අවදානම පිළිබඳ නිවැරදි තත්ත්වයන් සන්නිවේදනය කාර්යක්ෂමව සිදු කිරීමේ ශක්‍යතාව මෙක්සිකෝ රාජ්‍යයට විය. 20 වන සියවයේ මුල් භාගයේ මෙරට පැතිර ගිය මාරාන්තික මැලේරියා වසංගතය මර්දනය කිරීමට එකල සිටි වාමාංශික නායකයන් උත්සාහ දැරුවේ නිදහස් සටනේද නිරත වෙමින් සිටියදීය. ඔවුහු එදා මැලේරියා සටන සාර්ථකව ජය ගත්හ. මෙය මැලේරියා හෝ ඩෙංගු මදුරුවාගේ ශක්තිමත්භාවය හෝ දුර්වලභාවය පිළිබඳ ගැටළුවක් නොව එදාට සාපේක්ෂව අද රටේ වගකීම් සහගතභාවයේ ඇති දුර්වලතාවයකි.
එනිසා එදාට සමානුපාතිකව අද අප අපගේ නිශ්ක‍්‍රීයභාවය පිළිබඳ ලැජ්ජා විය යුතුය. යුද්ධය හැර අන් කිසිවක් නොතැකූ ලංකා රජය දේශපාලනය සමඟ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහ පාලනය ඇතුලූ අන් සියල්ල පටලවා ගත්තේය. ජනතාවටද තම නිවසේ මාලූ ටැංකියේ හෝ මල් පෝච්චිය ඇතුලේ සුවබරව වැඩෙන මේ උවදුර හඳුනාගැනීමට තරම් විවේකයක් නොතිබුණි. විවේකයක් නොතිබුණාට වඩා සමබර මානසිකත්වයක් නොතිබුණි. ඔවුන්ද ගතින් නිවසේ සිටියත් සිතින් සිටියේ රණ බිමේ නිසාය. ඒ කෙතරම්ද යත් යුද්ධයෙන් නිර්වින්දනය වී තිබූ ඔවුන්ගේ ශරීරවලට පසුගිය කාලයේ ඩෙංගු මදුරුවන් දෂ්ඨ කළද එය දැනී නැත. ප‍්‍රතිඵලය අසල්වැසි නිවැසියන් ඩෙංගු රෝගයෙන් මිය යද්දී, දරු මල්ලන් කර ගසා ගෙන ඩෙංගු නැතැයි සිතන කොහේට හෝ ප‍්‍රදේශයකට පලා යාමය. එසේ අප දන්නා බොහෝ පිරිසක් ජීවිත රැක ගැනීමට දැනටමත් සිය පදිංචි නිවෙස් හැර දා ගොස් ඇත.

ලංකාවට තිබෙන්නේ නිවැරදි වීමේ හා වඩා සංවර්ධනාත්මක ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් කරා යාමේ අවශ්‍යතාවකට වඩා ඇමති මහින්ද සමරසිංහ කියු ආකාරයට, දීර්ඝ කාලීන පළපුරුද්දෙන් ලත් අත්දැකීම් අනුව සූක්ෂමව ගේම් ගසා ජාත්‍යන්තර ප‍්‍රජාව ඉදිරියේ රට ගොඩ දමා ගැනීමේ විදේශ ප‍්‍රතිපත්තියකි. මෙය මෙරට සෑම ක්ෂේත‍්‍රයකම ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් කාන්දු වන තත්ත්වයකි.
ජාතික ආරක්ෂාව යනු ත‍්‍රස්තවාදීන්ගෙන්, ගරිල්ලන්ගෙන් හෝ විමුක්තිකාමීන්ගෙන් සිදුවන ප‍්‍රහාරයන්ගෙන් ආරක්ෂා වීම පමණක් නොවන්නේය. මී, මැසි, මදුරු, උවදුරු ද රටක ජාතියක ආරක්ෂාවට තර්ජනයක් විය හැකිය. රටක රාජ්‍ය නායකයාගේ මුළු අවධානය යොමු විය යුත්තේ එරට සමස්තය කෙරෙහිය. පාර්ලිමේන්තුවේ සිටින සියලූ ජනතා නියෝජිතයන් සම්බන්ධයෙන්ද මේ ප‍්‍රකාශය වලංගුය. රජය වසංගත රෝග මර්දනයට පණත් කෙටුම්පත් කරන්නේ දැන්ය. ඩෙංගු මර්ධනය කිරීමට සිවිල් ආරක්ෂක කමිටුවල තරුණ තරුණියන් 1,50 000 කගේ ස්වේච්චා සේවය ලබා ගැනීමට සූදානම් වන්නේ ද, දිවයිනේ ලක්ෂ 40ක් වන පාසල් දරුවන් මාර්ගයෙන් දෙමාපියන් දැනුවත් කරන්නට සිතුවේද දැන්ය. රට පුරා ග‍්‍රාම නිළධාරී කොට්ඨාශ 14,194 කම ඩෙංගු මර්දන වැඩසටහන් ක‍්‍රියාවට නැංවීමට පිඹුරු පත් සකසන්නේද අන්තිම මොහොතේය. නමුත් රජය දැනටමත් ප‍්‍රමාදය.

මහජන නියෝජිතයන් තමන්ගේ විෂය පථය පිළිබඳව මීට වඩා අවධානයක් යොමු කළ යුතුය. පසුගිය මාස කිහිපය පුරා මෙරට අමාත්‍යාංශ කීයක් තමන්ගේ විෂය පථයට අදාළ කටයුතු වලට ප‍්‍රමුඛතාව දීම පසෙකලා ජාතික ආරක්ෂාවේ නාමයෙන් අකාර්යක්ෂමව, අලසව, වැඩ පැහැර හැර ඇතිද යන්න හෙළිදරවු වීමට තව වැඩි කාලයක් ගත නොවේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සාකච්ඡා පවත්වා, සැලසුම් හදා කල එළි බහින විට ඩෙංගු මදුරුවන් වේගයෙන් දෛනිකව සිය වර්ගයා බෝ කරමින් සිටී. ඔවුන් මේ දෂ්ඨ කරන්නේ මෙරට ජාතික ආරක්ෂාවට පමණක් නොව ආර්ථික, සමාජීය, දේශපාලන යන සෑම අංශයකටමය. දීර්ඝ කාලීන විවේකයකින් සිටිය යුතු ඩෙංගු වැනි රෝගයක් සුලූවෙන් තැකීමේ විපාක හාල් ඇටයේ සිටම ජීවන බර අමාරුවෙන් උසුලා ගෙන යන මහජනයාට අත්විඳින්නට සිදුවීම අසාධාරණය.
සාර්ථක යුද්ධයක නිමාවෙන් පසු මේ රජය පොල් කටු තම්බා කන්නට කිවුවද ජනතාව ඒවා කනවා ඇත. ලොව බලවත්ම රාජ්‍ය නායකයා සිටින්නේ ඇමෙරිකාවේ නොව ලංකාවේ කිවුවොත් එයද පිළිගන්නවා නිසැකය. එ නිසා මෙතරම් හරඹයක් කරන කොට ඩෙංගු සෑදී පණහක් හැටක් මිය යාම ගැන රටට ආදරේ නොකරන ජාතිය කෙසේ වෙතත් රටට ආදරය කරන ජාතියවත් ඉවසා සිටිය යුතු බව කිවුවද ලාංකිකයන් එයත් ඉවසනවා ඇත. තමන් උපක‍්‍රමශීලී හා සැලසුම් සහගත යැයි කියන එමෙන්ම ඕනම වසංගතයක්, අර්බුදයක්, ගැටුමක්, යුද්ධයක් තීන්දු කර, නිවාරණය කර, ප‍්‍රත්‍යක්ෂ කිරීමට දින, සති, මාස ලංසු තබන රජය මේ අභියෝගයද බාර ගත යුතුය.

Wednesday, May 13, 2009

ජනාධිපති බරක් ඔබාමා තිස්සනායගම් ගැන කතා කරයි

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන නඩු විභාගයකට ලක් කොට සිටින සන්ඬේ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් බොහෝ දෙනෙකුට අමතක ව ගොස් ඇත.

ලංකාවේ අනතුරට ලක් වු මාධ්‍යවේදීන්ගේ ලැයිස්තුවෙන් ද ඔහුගේ නම බොහෝවිට හැලී යාමේ ප‍්‍රවණතාවක් පවතී. එහෙත්, ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බරක් ඔබාමා ට තිස්සනායගම් මාධ්‍යවේදියා මතක් විය.
මැයි 03 දිනට යෙදුණු ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයේ දී කතා කළ ජනාධිපති ඔබාමා මෙසේ ප‍්‍රකාශ කළෝය.

”අසර්වයිජානයේ සිට සිම්බාබ්වේ දක්වා ද, බුරුමයේ සිට උස්බෙකිස්ථානය දක්වා ද, කියුබාවේ සිට එරිත‍්‍රියාව දක්වා ද ලෝකයේ සෑම අහුමුල්ලක ම පුවත්පත් කලාවේදීහු සිරගත කරනු ලැබ හා පීඩාවට පත් කරනු ලබමින් සිටිති. ශ‍්‍රී ලංකාවේ ජේ.එස්. තිස්සනායගම් හෝ චීනයේ ෂී තා ඕ සහ හු ජියා වැනි අය මෙම ”භයානක යථාර්ථයේ සංකේතීය උදාහරණයෝ වෙති.

Back to home.....

Monday, May 4, 2009

එද එවන් ලොවින් ලද දිනු දෙයක් නැත - තවත් එවන් රුපු කැළක් විනා

සිංහල අළුත් අවුරුදු දවස්වල අප කතා කළ අහසින් ගිය ඉබ්බාගේ කතාව ඔබට අමතක වී නැතැයි සිතමි. අප කතාව නැවැත්වුවේ සාමය, සමෘද්ධිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැඟීම සඳහා පොදු පෙරමුණ ආණ්ඩුව සෑදීමට එකතු වු හොඳ මිනිසුන් දුෂ්ඨයන් / කවටයන් බවට පත් කරමින් එම ආණ්ඩුව අවසන් වූ අකාරයයි.
එම ලිපිය ලියන අතරතුර, චන්ද්‍රිකා ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩලය මතක් කර ගැනීමට සෑහෙන වේලාවක් ගත වු අතර එතරම් වෙහෙස මහන්සියෙන් සැකසු නාමාවලියෙන් ද එක නමක් මඟහැරී ඇති බව මට පසුව වැටහුණි. මඟහැරී ඇත්තේ සුළු පටු කෙනෙකු නොව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවකට මහ ලේකම් ව සිටි ධර්මසිරි සේනානායක මහතාය. ඒ ගැන මගේ කණගාටුව පළ කරන අතරම, පුද්ගලයන් මතකයෙන් ගිලිහී යන වේගය අනුව දැන් සිටින වීරයන්ට තව අවුරුදු පහකදී අත්විය හැකි ඉරණම පිළිබඳවද මහත් කණගාටුවක් ඇතිවිය.

පොදු පෙරමුණ අවසන් වී, බලය අහිමි වී පින් පිරිහී සිටින කාලයේදී අළුත් සන්ධානයක් ගොඩ නඟන ලදි. ඒ එක්සත් ජනතා නිදහස් සංධානයයි. ටික කාලකට පසු, එවකට තිබු චන්ද්‍රිකා කුමාරතුංග නායකත්වය පුපුරා හරිමින් එම සන්ධානය මහින්ද රාජපක්ෂ මහතා කේන්ද්‍ර කරගනිමින් නැවත සංවිධානය විය.

ජනාධිපති ධුරයට පත් වු මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ සහායකයන්ට පෙනී ගියේ තමාට උරුම වී ඇත්තේ බටහිර ආධිපත්‍යයට යටවුණු, එන්.ජී. ඕ වල බලපෑමට හසුවුණු, සිංහලකම නොතකන, කැඞී බිඳී ගිය පුද්ගලවාදී සමාජයක් බවයි. මෙම සමාජය එල්.ටී.ටී.ඊ සංවිධානයේ ‘ත‍්‍රස්තවාදී’ තර්ජනයට ලක්ව සිටින අතර, උතුරු නැගෙනහිර පළාතේ භූමියෙන් සෑහෙන කොටසක් එහි පාලනය යටතේ පවතී. සමාජය නැමැති පරිකල්පනීය සමස්තය ගොඩනැගීම පිණිස බැහැර කොට තබන ලද දෙමළ ප‍්‍රජාව නැමැති ශේෂය විසින් පෙරළා එල්ල කරන ලද ප‍්‍රහාරයෙන් බිඳ වැටුනු සමතුලිතතාවය නැවත ගොඩනගා ගැනීම එම ශේෂය සම්පුර්ණයෙන්ම විනාශ කිරීම සඳහා යුධ මෙහෙයුමක් ආරම්භ කිරීමට සන්ධාන රජය තීරණය කරන ලදි.
මෙම කටයුත්ත ඉටුකර ගැනීම පිණිස රාජ්‍යයේ සියළු සම්පත් ඒකරාශී කරන ලද්දේය. යුධ ව්‍යායාමයට බාධා කරන්නවුන් නිර්දය ලෙස මර්දනය කරන ලදි. රාජ්‍යයේ මර්දන උපකරණ සම්පුර්ණයෙන්ම යුද්ධ වෙනුවෙන් යොදවා ගන්නා විට මතවාදී උපකරණ යොදාගෙන එම ව්‍යායාමය සාධාරණීයකරණය කොට සමාජයේ සෙසු සියළුදෙනාගේ සහයෝගය ඒ සඳහා දිනාගන්නා ලදි. වෙනත් විදිහකින් කිව්වොත්, බැහැර කරන ලද බාහිර සතුරා විනාශ කිරීම සඳහා සියළුදෙනාගේම සහයෝගය ලබා ගැනීම මඟින් සමාජය නැමැති පරිකල්පනීය සමස්තය නැවත ගොඩනඟන ලදි.
තත්ත්වය අනුභූතිකව දුටු සියළු දෙනාම කල්පනා කළේ මේ වාරයේ නම් වැඬේ හරිගිය බවයි. මෙතෙක් කාලයක් හරි යන්නේ නෑ ඕක නම් හරි යන්නේ නෑ මයි කියු චව් චව් ලා ද ‘කැප්ටන් දිය රකුස් ’ අතහැර දමා ‘දොස්තර හොඳ හිතගේ’ නැවට ගොඩ වී කරට අත දමා ගෙන සාටක ද පළඳා ගත්හ. මුළු සමාජය ම බඩට උඩින් රට තබා උතුර බලාගෙන භාවනා කළ අතර, කනබොන රමණය කරන මිනිසෙකු ගැන විශ්වාස කරමින් අනූව දශකයේදී ‘කොළ පාට සමාජය ලියු චන්ද්‍රපේමද පුදුම වී නිල් පාටට හැරුණි.

එක දිගට අවුරුදු තුනක් සටන් කොට, යුද්ධය අවසන් කළා යැයි කියා කට ගන්නට පෙර සිදු වී ඇත්තේ කුමක්ද ? ආර්ථිකය බිඳ වැටිලාය, නීතියේ පාලනය ක‍්‍රියාත්මක කිරීමට ගොඩනඟා තිබු ආයතන පද්ධතිය විහිළුවක් බවට පත්වෙලාය. ලක්ෂ එක හමාරකට වැඩි ජනතාවක් අවතැන් වෙලාය. තවත් ලක්ෂ භාගයක් පමණ ජනතාවක් යුද මුක්ත කලාපය තුළ ගැටුමට මැදි වී සිරවෙලාය. ලංකාවේ ජාතික රාජ්‍යයේ සීමාව තුළ විසඳා ගත යුතුව තිබු ප‍්‍රශ්නයක් තමිල්නාඩුව සහ බටහිර රටවල් විසින් විසඳන මට්ටමට මාරු වෙලාය. ආර්. දුමින්ද සිල්වා මහතා කොළඹ දිස්ත‍්‍රික් සන්ධාන ලැයිස්තුවේ වැඩිම මනාප ලබාගෙන ජයග‍්‍රහණය ලබලාය. තමන් සතු සකල මනාව ම උගස් කොට, සතුරා විනාශ කිරීමට කළ සටන අවසානයේ ජයග‍්‍රහණය ප‍්‍රකාශ කළ මොහොතේ දැන් පෙනෙන්නේ, දසිස් දිනා රුපු රජුන් නසා -ලොව තෙදින් තමා නතු කළෙමි මෙමා- එද එවන් ලොවින් ලද දිනු දෙයක් නැත- තවත් එවන් රුපු කැළක් විනා බවයි.

එබැවින් දැන් සිදු වී ඇත්තේ විනාශ කිරීමට ගිය එක ප‍්‍රභාකරන් වෙනුවට සතුරන් රාශියක් - රුපු කැළක් හමුවීම නොවේද ? වයිකෝ, රාම්දාස්,කරුණානිධි,ජය ලලිතා,ඬේවිඞ් මිලිබෑන්ඞ්, බර්නාඞ් කුෂ්නර්, හිලරි ක්ලින්ටන්, ගෝඞ්න් බ‍්‍රවුන්,සහ හෙට අනිද්දා වනවිට බරක් ඔබාමා දක්වාම ඒ ලයිස්තුව දිගුවනු ඇත.

අනෙක් පැත්තෙන් උදය ගම්මන්පිල මහතා ප‍්‍රභාකරන්ගෙන් පසු බෙදුම්වාදී ව්‍යාපාරයේ නායකත්වය ගැනීමට දෙමළ ‘මොහොමඞ් අලි ජින්නා’ කෙනෙකු බටහිර රටක ඩයස්පෝරාවෙන් හෙවත් විදේශගත දෙමළ ප‍්‍රජාව වෙතින් මතු වී ඇතැයි පරිකල්පනය කරන්නේ ද එබැවිනි.
(කතාව තව ඉවර නැහැ)

Thursday, March 12, 2009

විරාමයෙන් අනතුරුව නැවතත් ඔබ හමුවට

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයෙන් පසුව උදාවුයේ කතා කිරීමට නොහැකි සමයකි. ‘‘කතා කිරීමට නොහැකි තැනකදී නිහඬ විය යුතුය ’’ යන විත්ගස්ටයින්ගේ ආප්තය අනුව යමින් ‘‘සමබිම’’ තාවකාලිකව නිහඬ විය.

ජීවත්වීමේ අයිතිය සහ කතා කිරීමේ නිදහස ආරක්ෂා කර ගැනීම සඳහා දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ඇතුළත් පුළුල් ජන බලවේගයක් ගොඩනැඟීම අත්‍යවශ්‍ය විය. ඒ නිහඬ සමයේ දී අපගේ කාලය සහ ශ‍්‍රමය වැය කරන ලද්දේ එවන් බලවේගයක් ගොඩ නැඟීම වෙනුවෙනි.

දැන් අපි නැවතත් ‘‘සමබිම’’ ආරම්භ කිරීමට තීරණය කළෙමු.

අපගේ තක්සේරුව අනුව ලාංකීය සමාජය හැරවුම් ලක්ෂ්‍යයක් කරා පැමිණ තිබේ. එය හැරවුමක ඇරඹුම දැයි අපි නොදනිමු. නමුත් ලංකාවේ දේශපාලන පක්ෂ නායකයන්, වෘත්තීය සමිති නායකයන්, බුද්ධිමතුන්, සිවිල් චින්තකයන්, මාධ්‍යවේදීන් ඇතුළු සියළුදෙනාම සිරවීමක් කරා පැමිණ ඇති අතර තම දූත මෙහෙවර පිළිබඳ නැවත සිතීමට අවශ්‍ය තත්ත්වයක් ඇති වී ඇත.

ලෝක දේශපාලනයේ සහ ලෝක ආර්ථිකයේ බරපතල වෙනස්වීම් ඇති වෙමින් පවතී. පවතින ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ ක‍්‍රමය හෙවත් ධනවාදී සමාජ ක‍්‍රමය යනු ඉතිහාසයේ අවසානය බවත්, සදාකාලයෙන් සදාකාලයට පවතින එම සමාජ ක‍්‍රමයට හෝ එම සමාජ ක‍්‍රමය විසින් අනු දැන ඇති ජාතික රාජ්‍යයට හෝ අභියෝග කරන මෝඩයන් ක‍්‍රමය විසින් අතුගා දමනු ලැබීම කාලය පිළිබඳ ප‍්‍රශ්නයක් පමණක් බවත්, උදාන වාක්‍යය ලෙස ප‍්‍රකාශ කළ අයටද, උතුරේ යුද්ධය නිශ්චිත කාලයක් තුළ නිමා වී සාමය උදාවී තාරපාරවල් කාපට් වී එල්.ටී.ටී.ඊ සංවිධානය ආයුධ අතහැර තැපැල් සේවයක් ලෙසට රූපාන්තරණය වන බවට (Post LTTE) පුරසාරම් දෙඩු අයටද මෙම නව වෙනස්වීම ලෝකයට, දකුණු ආසියානු කලාපයට පමණක් නොව ලංකාවටද බලපාන්නේ කෙසේදැයි කල්පනා කිරීමට සිදුවනු ඇත.

හොඳින් ලකුණු රැස් කරමින් ලකුණු අතර සිටි ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු දිගින් දිගටම අසාර්ථක වනවිට ඔහු මෙන්ම ඔහුගේ රසිකයන්ද ඊටත් වඩා ඔහුගේ බිරිඳ, කළමණාකරු සහ අනුග‍්‍රාහක බවතුන්ද කැළඹීමට පත්වෙති. මෙම අසාර්ථකත්වයෙන් ගොඩඒමට තමාට හුරු පුරුදු ආකාරයේ පිති පහරවල් එල්ල කිරීමට ක‍්‍රීඩකයා උත්සාහ ගත්තද එහි ප‍්‍රතිඵලය වනුයේ නැවතත් අසාර්ථක වීමයි. එවන් අවස්ථාවක ඔහුගේ පුහුණුකරු ඔහුට ලබාදෙන උපදෙස වන්නේ තමා පසුකාලයකදී දියුණු කරගත් ශෛලය මොහොතකට අමතක කොට නැවතත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ පිතිකරණයේ මුලධර්ම වෙත ගමන් කරන ලෙසයි. එනම් ‘‘ Back to the Basic’’ යන්නයි.

අපේ යෝජනාව ලංකාවේ සමාජය තමා පිළිබඳව අලූතින් සිතා බැලිය යුතු බවයි. ඒ සඳහා නැවතත් මූලධර්ම වෙත ගමන් කළ යුතු බවයි.

ලංකාවේ මානව හිමිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම පිළිබඳව ‘‘සමබිම’’ ඉදිරිපත් කිරීමට උත්සාහ කළ සාකච්ඡාවද ඒ අනුව නැවතත් මූලධර්ම වෙත ගෙනයාමට අවශ්‍යය. මේ සඳහා සාකච්ඡාව එදිනෙදා මතුවෙන ප‍්‍රශ්නවලින් ඔබ්බට ගෙනගොස් අපේ සමාජයේ අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා යොමු කිරීම අවශ්‍ය වේ.

පසුගිය වසරේ අප සමඟ සිටිමින් අපට නොයෙක් ආකාරයෙන් ප‍්‍රතිචාර දැක්වු ‘‘සමබිම’’ පාඨකයන් මෙම අත්‍යාවශ්‍ය සීරුමාරු කිරීම හේතුවෙන් තරමක් වික්ෂිප්ත වීමට ඉඩ තිබේ. අපට දැනට කීමට ඇත්තේ කලබල නොවී සති කිහිපයක් අප හා රැඳී සිටින ලෙස පමණකි.

ඔබේ අදහස්, යෝජනා සහ ප‍්‍රතිචාර අප වෙත කෙටියෙන් ලියා එවන්නේ නම් අප කැමතිය.

සංස්කාරක
සමබිම
රයිට්ස්නව් ආයතනය
24/13,
විජයබා මාවත,
නාවල පාර,
නුගේගොඩ.
කෙටි පණිවිඩ සඳහා 0777342834

Back to Home

අහලා පුරුදු කතාවක් වගේ නේද? හොඳට මතක් කරලා බලන්න

මධ්‍යම ලන්ඩනයට ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ලවෙයි. හය දෙනෙක් මිය ගිය අතර තවත් හතළීහකට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබති. ලන්ඩන් නගරය තුළ සියළුම ආකාරයේ දේශපාලන උද්ඝෝෂණ පැවැත්වීම දැනමටත් තහනම් කර ඇති අග‍්‍රාමාත්‍යවරයා හබයාස් කෝපූස් නීතිය (අත් අඩංගුවේ සිටින පුද්ගලයෙකු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කරන ලෙස ඉල්ලා සිටීමට පුරවැසියන්ට ඉඩ ලැබෙන නීතිය) ඉවත් කිරීමට යෝජනා කරයි. මාධ්‍යයන්ට සාකච්ඡාවක් ලබාදෙන අග නාගරික පොලිස් කොමසාරිස් පවසන්නේ ආයුධ සන්නද්ධ ත‍්‍රස්තවාදීන් 10,000ක් දෙනා ලන්ඩනයේ නිදැල්ලේ හැසිරෙන බවයි. නගරය ආරක්ෂා කිරීම සඳහා විශේෂ පොලිස් කොස්තාපල්වරු 50,000ක් බඳවා ගැනෙති. ජල අපවහන කාණු පද්ධතිය තුළ ත‍්‍රස්තවාදීන් විසින් පුපුරන ද්‍රව්‍ය සඟවා ඇත්දැයි සොයා බැලීම සඳහා පොලීසියේ සුපරීක්ෂාව යටතේ විශේෂ සේවක කණ්ඩායම් යොදා ඇත. මහ රැජිනද මේ තත්ත්වය සම්බන්ධයෙන් මැදිහත් වෙයි. මේ ත‍්‍රස්තවාදීන් දුටු තැන එල්ලා මරා දැමිය යුතු යැයි හිතන්නට තමා පවා පටන් ගෙන ඇතැයි ඇය කියයි. ප‍්‍රධාන පෙළේ බුද්ධිමතකු පවසන්නේ ත‍්‍රස්තවාදීන්ගේ අරමුණ කෙරෙහි විශාල සහයෝගයක් දක්වන ලද ලන්ඩන් නගරවාසී පොදු ජනයා මේ ප‍්‍රහාර හේතුවෙන් කුලප්පු කොට ප‍්‍රතිගාමී ආණ්ඩුවේ තුරුළට එළවා දමනු ලැබ ඇතැයි කියාය. නමුත් ත‍්‍රස්තවාදය පමණක් නොව ත‍්‍රස්තවාදයට බලපාන දේශපාලන මූලයන්ට පිළිතුරු සෙවීම සඳහා අනාගත අගමැතිවරයාගේ අදහස් වෙනස් කිරීමට මේ ප‍්‍රහාරය හේතු වු බව සෑහෙන කලකට පසුව පිළි ගැනීමට ලක්වේ.

මෙහි දැක්වෙන් සිදුවීම් සත්‍ය වශයෙන්ම සිදු වු ඒවාය. නමුත්, ඒවා සිදුවුයේ මේ සියවසේ හෝ පසුගිය සියවසේ හෝ නොව 1867 දීය. එදා අගමැති ටෝනි බ්ලෙයාර් නොව බෙන්ජමින් ඩිස්රායෙලිය. එදා නාගරික පොලිස් කොමසාරිස් නම් ශ‍්‍රීමත් ඉයන් බ්ලෙයාර් හෝ ශ‍්‍රීමත් ජෝන් ස්ටීවන්ස් නොව රිචඞ් මේන් ය.; එදා රැජින වුයේ දෙවන එළිසබෙත් නොව වික්ටෝරියාය.; එදා පොදුජන බුද්ධිමතා නෝම් චොම්සගි නොව කාල්මාක්ස්ය ; අනාගත අගමැති ගෝඞ්න් බ‍්‍රවුන් නොව ග්ලැඞ්ස්ටන්ය. එදා ත‍්‍රස්තවාදීන් වුයේ අල් කයිඩා නොව අයිරිෂ් ෆිනියන්වරුන්ය.

කොනර් ගර්ටි
මානව හිමිකම් නොනැසි පවතීද?

Back to Home

Tuesday, January 27, 2009

දැන් ඉතින් සමුගන්න වෙලාවයි

ආන්නා පොලිකොව්ස්කායා රුසියානු මාධ්‍යවේදිනියකි. වෙඩි තබා ඝාතනය කරන ලද ඇගේ මළ සිරුර 2006 ඔක්තෝම්බර් 07 වනදා මොස්කව් හි ඇය ජීවත් වූ මහල් නිවාසයෙහි විදුලි සෝපානයෙහි දමා තිබියදී හමුවිය. මරා දමන විට ඇයගේ වයස අවුරුදු හතළිස් අටකි. ඇගේ මරණය නිමිත්තෙන් ඇල්ජීරියානු කවියෙකු හා ලේඛකයෙකු වන තහාර් ජාවුට් මෙසේ ලියුවේය.

Silence means death
if you talk, you're dead
If you stay silent, you're dead
So go ahead - talk and die

කතා කිරීමේ, ලිවීමේ සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සම්පුර්ණයෙන්ම අහෝසි ව යන අවදියක් කරා අපේ රට ළඟා වී ඇත.
දෛවයේ සරදම වන්නේ එවන් යුගයක් පරාජය කර එම නිදහස භුක්ති විඳින තත්ත්වයක් ඇති කරගත් අපට නැවතත් සම්පුර්ණ වටයක් ගමන් කොට වෘත්තයේ මුලටම පැමිණීමට සිදුවීමයි.
එදා අයිතිවාසිකම් උදුරා ගත්තවුන් අද වෙනුවෙන් සටනට එක් වී ඇති අතර, එදා අයිතිවාසිකම් වෙනුවෙන් උරෙනු’ර ගැටී සටන් කළ අය අද අයිතිවාසිකම් උදුරා ගන්නාගේ භූමිකාව භාරගෙන ඇත.
‘සමබිම’ 50 වන කලාපය අප නිකුත් කරන්නේ එවැනි වාතාවරණයකය.
වාරණයේ ඉහළම ස්වරූපය ‘ඝාතනය’ බවට පිළිගැනීමක් ඇත. නිල මාධ්‍ය වාරණයක් නොපවතිතත් පසුගිය කාලය තුළම අප විවිධ මාධ්‍යයන්හි අත් දුටුවේ ස්වයං වාරණයකි. ලසන්ත වික‍්‍රමතුංග මහ දවාලේ කොළඹ අධි ආරක්ෂක කලාපයක් තුළ අමු අමුවේ වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟම අප ඒ වාරණයේ උපරිම මට්ටමට පැමිණ ඇති අතර, ‘ඩවුන්’ යාමට බලකෙරී ඇත.
කතා කිරීමට නොහැකි අවස්ථාවක කළ යුත්තේ නිහඬවීම බව දාර්ශනියෙකු වූ විට්ගන්ස්ටයින් කියා ඇත.
මේ වාතාවරණය තුළ අපට විට්ගන්ස්ටයින් අනුගමනය කිරීමට බලකෙරී ඇත. එයට හේතුව ජීවත්වීමේ නිදහසට සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසට ඇති අයිතිවාසිකමට එල්ල වී ඇති තර්ජනයට මුහුණදීමට අවශ්‍ය හැකියාව මේ මොහොතේ අප සතුව නොමැති බැවිනි.
එබැවින් ‘සමබිම’ 50 වන කලාපය නිකුත් වන මේ මොහොතේ ‘සමබිම’ නැවැත්වීමට අපි තීරණය කළෙමු.
දැන් ඉතින් ඉතිරිව ඇත්තේ ජීවත් වීමේ නිදහස සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් සටන් කරන පුළුල් ජන බලවේගයක් ගොඩනැංවීම පමණකි.
වෙනත් කිසිදු ගැලවුම්කරුවෙකු අප වෙනුවෙන් මැදිහත් නොවන බව දැන් සක් සුදක් සේ පැහැදිලිය.

ඉතින්, අපි සමුගනිමු. තාවකාලිකව වෙන්වෙමු.
අයිතිවාසිකම් පිළිබඳ සංවාදයක් නැවත ඇරඹීමට හැකි අවකාශයක් ද, ඒ සඳහා අවශ්‍ය ශක්තිය ද ගොනු කර ගත් මොහොතක නැවත හමුවෙමු.
එතෙක් ආයුබෝවන්.
අපට සහාය දුන් ඔබ සැමට ස්තූතියි.
Rights Now සංවිධානය


back to Home

Thursday, January 15, 2009

මහජන මුදලින් නඩත්තු වෙන ආයතන ගැන දැනගන්න සිවිල් සමාජයට අයිතියක් තියෙනවා.

රාජ්‍ය නොවන සංවිධානයන්හි ක‍්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂා කිරීමේ පාර්ලිමේන්තු තේරීම් කමිටුව 2008 දෙසැම්බර් 08 වැනිදා සිය අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහ. එහිදී ඳුෂණයට එරෙහිව ක‍්‍රියාත්මක වන ප‍්‍රධානතම ජාත්‍යන්තර සංවිධානයක් වන ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයේ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කමිටු අතුරු වාර්තාවේ සඳහන් කරුණු අගතිගාමී බව කියමින් එම ආයතනය පසුගිය ජනවාරි 05 වැනිදා පිළිතුරු වාර්තාවක් නිකුත් කළා.
එයට අනුව,
ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා යනු රාජ්‍ය සහ පෞද්ගලික අංශය, ආධාර සපයන්නන් සහ අනෙකුත් ගෝලීය කණ්ඩායම්වල ආකල්ප වෙනස් කිරීමේ අරමුණින් විවිධ මට්ටමේ ඳුෂණ විරෝධී ක‍්‍රියාකාරකම්වල නිරතවන ජාත්‍යන්තර සංවිධාන සමූහයේ මෙරට ක‍්‍රියාත්මක නියෝජිත ආයතනයයි.

2001 වසරේ එම ආයතනය දකුණු ආසියාවේ අනෙකුත් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතන හා එක්ව කරන ලද මහජන මත විමසුමට අනුව දකුණු ආසියා කලාපයේ රටවල දුෂිතම ආයතනය පොලීසිය බව අනාවරණය විය.

එම නිසා ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය රාජ්‍ය සහ සිවිල් යන දෙඅංශයේම සහභාගීත්වය ඇතුව පොලිස් මහජන සම්බන්ධතාව නැංවීමටත්, පොලීසියේ අවංකභාවය වර්ධනයටත් පොලිස් ව්‍යාපෘතියක් දියත් කළහ. එය ශ‍්‍රී ලංකා පොලීසිය සම්බන්ධයෙන් සිදු කරන ලද එබඳු පළමු ව්‍යාපෘතියයි. මහජන මුදලින් නඩත්තු වන ජනතා ආයතනයක් වන පොලීසියේ ඳුෂණ වැළැක්වීමට හැකි සෑම පියවරක්ම ගැනීම පොලිස් නිලධාරීන්ගේ මෙන්ම මහජනතාවගේද වගකීමක් යන්න පිළිගනිමින් ආරම්භ වූ මෙම ව්‍යාපෘතියට එවකට තිබු ජාතික පොලිස් කොමිසම සහ පොලිස්පතිතුමාගේ ද ධනාත්මක ප‍්‍රතිචාරයක් ලැබුණි.

කරුණු එසේ වුවද 2008 දෙසැම්බර් 08 වැනිදා රාජ්‍ය නොවන සංවිධානයන් පිළිබඳ පරීක්ෂා කිරීමේ පාර්ලිමේන්තු තේරීම් කමිටුව සිය අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පවසා සිටියේ මෙම ව්‍යාපෘතිය ඇරඹීමට පොලිස් අවසරය ලබා ගැනීම සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සැපයීම නිසා ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයට චෝදනා කිරීමට කමිටුවට සිදු වූ බවය. ඊට පිළිතුරු ලෙස ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය දක්වන්නේ මෙම ව්‍යාපෘතිය ඇරඹීම සම්බන්ධයෙන් එවකට තිබූ ජාතික පොලිස් කොමිසමත්, පොලිස්පතිතුමාත් හොඳින් දැන සිටි බවය. එසේම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වන කාලයේ හිටපු පොලිස්පතිවරු දෙදෙනෙක්ද ඊට සහාය දක්වා ඇත.

තවදුරටත් එම ආයතනය 2007 මාර්තු 21 වැනිදා පැවැත්වූ කමිටු රැස්වීමේ සටහන් වාර්තා ඉල්ලා සිටීමේදී පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තු කමිටුවක කිසිඳු වාර්තාවක් ප‍්‍රකාශයට පත් කිරීම බලයන් සහ වරප‍්‍රසාද සම්බන්ධ පාර්ලිමේන්තු පනතේ 09 වන වගන්තියේ ඊ කොටස යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බව දක්වමින් ලබා දීම ප‍්‍රතික්ෂේප කර ඇත.

එනිසා හිටපු පොලිස්පතිවරුන් හෝ වෙනත් පොලිස් නිලධාරීන් කමිටුවට පැවසූ දෑ ගැන එම ආයතනය දැනුවත් වී නැත. එමඟින් කමිටුව ස්වභාවික යුක්තියේ මුලික ප‍්‍රතිපත්තීන් වන ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක් ගැන අගතිගාමී නිගමනයකට එළැඹෙන විට ඊට විරුද්ධව කරුණු ඉදිරිපත් කිරීමට ඇති අවකාශ අහුරා ඇත.
මීට අමතරව කමිටුව දක්වා තිබූ රාජ්‍ය නොවන සංවිධාන විගණනයට ලක් නොවන බව කියන කරුණට පිළිතුරු දෙමින් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය දක්වන්නේ සිය ආයතනයේ ගිණුම් පිළිගත් විගණන ආයතනයක් මඟින් විගණනය කරනවා පමණක් නොව අන්තර්ජාලය ඔස්සේ ද ප‍්‍රචාරයට පියවර ගෙන ඇති බවයි. මෙම තේරීම් කමිටුව පැවැත්වෙන අතරතුර එහි සභාපතීත්වය දරමින් සිටි විජිත හේරත් මන්ත‍්‍රීතුමාගේ ප‍්‍රකාශය උපුටා දක්වමින් තම ආයතනය පිළිබඳ අහිතකර, පක්ෂග‍්‍රාහි,සාවද්‍ය හා අතාර්කික වාර්තා බොහොමයක් මාධ්‍යයන්හි පළවුවත් පාර්ලිමේන්තුවේ වරප‍්‍රසාද පනත යටතේ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තුරු මාධ්‍ය වාර්තාවලට ප‍්‍රතිචාර දැක්වීමෙන් එම ආයතනය වැළකී සිටියහ. නමුත් මාධ්‍ය වාර්තා පිළිබඳ කමිටුවට කරන ලද දැනුම් දීම් වලටද කමිටුවෙන් පෙරළා ප‍්‍රතිචාරයක් ලැබී නැත. එම වාර්තාවල පළවූ අසත්‍ය තොරතුරු මඟින් කමිටුව නොමඟ ගොස් පූර්ව නිගමන වලට එළැඹ ඇති බව තම ආයතනයට නිසැකවම ඔප්පු කර පෙන්වීමට හැකියාව තිබූ නමුත් ඊට අවස්ථාවක් ලබා නොදුන් බවද ඔවුන් දක්වා ඇත.

තවදුරටත් මෙම පොලිස් ව්‍යාපෘතියෙන් සමාජ යහපතට අහිතකර බලපෑමක් සිදුවේද යන්නත් එයින් කිසිඳු අයුරකින් ජාතික ආරක්ෂාවට අහිතකර බලපෑමක් සිදුකර ඇත්ද යන්නත් පිළිබඳ කරුණු දක්වමින් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය පවසන්නේ 2001 වසරේ සිදුකරන ලද මහජන මත විමසුම් සමීක්ෂණයෙහි ප‍්‍රතිඵලයක් ලෙස පොලිස් ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාවක් පැන නැඟුණ බවය. මින් පෙර කිසිදු සංවිධානයක් හෝ පොලීසිය විසින්ම හෝ පොලීසියේ යහපාලනය සම්බන්ධ ගැටලූ හඳුනා ගැනීමට පුළුල් උත්සාහයක් දරා නොතිබුණි. ශ‍්‍රී ලංකාව විසින් පිළිගෙන ඇති එක්සත් ජාතීන්ගේ ඳුෂණයට එරෙහි ජාත්‍යන්තර සම්මුතිය යටතේ රජය සිවිල් සමාජය හා එක්ව ඳුෂණය පිටු දැකීමට බැඳී සිටී. එබැවින් මෙවැනි මහජන ආයතන සිවිල් සමාජය හා එක්ව සිදුකරන කවර උත්සාහයක් වුව වැළැක්වීමට අසාධාරණ ලෙස මැදිහත් වීමක් සිදුවුවහොත් එය රටවැසියාගේ යහපතට හා රටේ ප‍්‍රතිරූපයට අයහපත් ලෙස බලපානු ඇති බවද එම ආයතනය දක්වයි.

ජාතික ආරක්ෂාවට මෙම ව්‍යාපෘතිය අහිතකර ලෙස බලපා ඇති බවට කමිටුව කළ නිගමන සම්පුර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරමින් මෙම ආයතනය දක්වා සිටියේ ධනාත්මක තොරතුරු, පොලීසියේ ආයතනික ව්‍යුහය හා පොලිස් කාර්යයන් යන ප‍්‍රධාන කරුණු ඇසුරෙන් පමණක් ව්‍යාපෘතිය සිදුකළ බවයි. ඕනෑම ශිෂ්ට සමාජයක් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක වන රටක මෙම තොරතුරු ජනතාවට නිදහසේ ලබා ගැනීමට හැකි විය යුතුය. මෙම ව්‍යාපෘතිය සඳහා පොලිස් බුද්ධි අංශය, රහස්‍ය තොරතුරු හෝ විශේෂ කාර්ය බලකායේ කටයුතු පිළිබඳව කිසිඳු තොරතුරක් ලබා නොගත් අතර මෙමඟින් සොයා බැලූවේ පොලීසියේ ප‍්‍රතිපත්තිමය කාරණා ගැන පමණක් නිසා මින් ජාතික ආරක්ෂාවට කිසිදු අහිතකර බලපෑමක් සිදු වී නැති බවයි.

කමිටුවේ අතුරු වාර්තාවේ සඳහන් ” රටෙහි බෙදුම්වාදී ක‍්‍රියාවන්ට අධාර සපයන බවට අපකීර්තිමත් නාමයක් හිමි කරගෙන සිටින නොරාඩ් සංවිධානය විශාල මුදලක් වැය කරමින් රාජ්‍ය නොවන සංවිධාන ඔස්සේ මෙම ව්‍යාපෘතිය දියත් කොට ඇත” යන්න තරයේ ප‍්‍රතික්ෂේප කරමින් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය පවසන්නේ, කිසිදු ආධාර කණ්ඩායමක සහාය නොමැතිව සැලසුම් කරන ලද මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට ආධාර කණ්ඩායම්වලට ආරාධනා කරන ලද්දේ තමන් විසින් බවයි. බොහෝ ආධාර කණ්ඩායම් ගණනකින් තෝරාගත් නොරාඩ් සංවිධානය ජාත්‍යන්තර කීර්තියට පත් එමෙන්ම ව්‍යාපෘතියක අන්තර්ගතයන් සම්බන්ධයෙන් ඇඟිලි නොගසන බවට අවංකභාවයක් පෙන්වා ඇති ආධාර සංවිධානයකි. එපමණක් නොව එය මෙරට විදේශ කටයුතු , කර්මාන්ත, ප‍්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධන, ධීවර සහ ජලජ සම්පත්, සංස්කෘතික යන අමාත්‍යාංශයන්ට සහ සංස්කෘතික අරමුදල යන රාජ්‍ය ආයතනවලට ආධාර සපයන ජාත්‍යන්තර සංවිධානයකි.

පොලීසියේ රහස්‍ය තොරතුරු ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය විසින් නොර්වේ රටට විකුණා ඇති බවත්, මෙම ව්‍යාපෘතිය මඟින් එබඳු තොරතුරු ලබා ගැනීමට නොර්වීජියානු රාජ්‍ය නොවන සංවිධාන සහ ට‍්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය අතර ගිවිසුමක් ඇති කරගෙන ඇති බවත් කියමින් කමිටුවේ සභාපතිවරයා කළ ප‍්‍රකාශය දැඩි ලෙස හෙළා දකින බව එම ආයතනය පවසයි. පොලීසියේ පුර්ව අවසරයකින් තොරව ව්‍යාපෘතියෙහි කිසිදු තොරතුරක් ජනතාව වෙත මුදා නොහැරිය බවත් එවැනි සෑම විටම ඊට පොලීසියේ උපදේශනය ලබා ගත් බවත් එම ආයතනය වැඩි දුරටත් සඳහන් කරයි.

කමිටුව කර ඇති විමර්ශනයේදී මූලිකවම විමසීම් කර ඇත්තේ පොලීසියෙන් තොරතුරු මුදා හැරීමේ ප‍්‍රශ්නය සම්බන්ධයෙනි. ඕනෑම ශිෂ්ට සම්පන්න රටක පාර්ලිමේන්තුව ඇතුළුව සෑම ආයතනයක්ම තොරතුරු ලබා දීමේ අයිතියට ගරු කරනු ලබන අතර බොහෝ රටවල පාර්ලිමේන්තුව විසින් සම්මත කොට ගත් රජය විසින් ගරු කරනු ලබන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ නීති පවතී. පාර්ලිමේන්තුව මගින් එම අයිතියට අභියෝග කිරීමේ අහිතකර ප‍්‍රතිඵලය වනුයේ නීත්‍යානුකූල තොරතුරක් පවා මෙරට ජනතාවට ලබාදීමට මැලිවන තරමටම රාජ්‍ය ආයතන පසුගාමී වීමයි.

තවද මහජන මුදලින් නඩත්තු වන කිසිඳු ආයතනයක කටයුතු පරීක්ෂාව සඳහා කිසිඳු මහජන ආයතනයක හෝ පාර්ලිමේන්තුවේ අවසරයක් සිවිල් සමාජයට අනවශ්‍යය බවද ට‍්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය දක්වා සිටියි.

මෙරට තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ නීති බල පවත්වන්නේ නම් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය හෝ වෙනත් කිසිදු ආයතනයකට තොරතුරු ලබා ගැනීම සඳහා පොලීසිය මත යැපෙන්නට සිදුනොවන බව දක්වන එම ආයතනය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ලබා ගත හැකි සියලූ තොරතුරු ඔවුන් නියෝජනය කරන මහජනතාවටද ලබා ගැනීමට හැකියාවක් සහිත නීතිමය රාමුවක් ඇති කළ යුතු බව කියා සිටියි. එබැවින් මන්ත‍්‍රීවරුන්ට ලබාගත හැකි තොරතුරු සියල්ල මහජනතාවටද ලබාගත හැකිවන පරිදි තොරතුරු ලබා ගැනීමේ අයිතිය ආරක්ෂා වන නීති පද්ධතියක් නිර්දේශ කරන්නැයි කමිටුවෙන් ඉල්ලා සිටිමින් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත.

i. පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාධාරණ සහ විනිවිදභාවයෙන් යුතු පිළිවෙතක් ඇතිකොට, එමඟින් කමිටු සමාජිකයන්ට තම බලය අයථා ලෙස පරිහරණය කිරීමට ඇති ඉඩකඩ අහුරා දැමිය යුතුය. ඔවුන්ට තමන් අයත් දේශපාලන පක්ෂවල න්‍යාය පත‍්‍රයන් වර්ධනය කරගැනීමට කමිටු ක‍්‍රියාකාරකම් යෙදවීම හෝ වරප‍්‍රසාද තොරතුරු අයිතිය අයථා පරිහරණය කිරීම වැළැක්විය යුතුය.

ii. පුද්ගලයන් සහ සංවිධාන සම්බන්ධයෙන් තීන්දු ගනු ලබන සියලූ පාර්ලිමේන්තු කමිටු ස්වභාවික නීතියේ මුලික අංශ දෙක ඉහළින් ගරුකළ යුතුය. (එනම් තමන්ගේ විනිශ්චය කාරයා තමන් නොවිය යුතුය, තීන්දුවක් ගැනීමට පෙර සියළු සාධාරණ අවස්ථාවන් අදාළ පාර්ශ්ව වෙත ලබා දිය යුතුය.)

iii. කමිටුව බාහිර බලවේගයන් මඟින් පාලනය නොවන බවටත්, දේශපාලන න්‍යායන්, කමිටු සාමාජිකයන්ගේ පුද්ගලික සැලසුම් සහ පක්ෂ ප‍්‍රතිපත්තීන් කමිටුවේ තීරණ ගැනීමේදී සාධක නොවන බවටත් තහවුරු කිරීම කමිටුවේ පරම යුතුකම වන්නේය.

iv. පාර්ලිමේන්තු වරප‍්‍රසාද පනතේ 09 වැනි වගන්තියේ ඊ කොටස ඉවත් කර, එය සංශෝධනය කොට, කමිටුවක කටයුතු හා විභාගයන් පිළිබඳ මහජනතාවට තම අදහස් දැක්වීමට ඇති අයිතිවාසිකම තහවුරු කළ යුතුය.

Back to Home

Monday, January 12, 2009

කොමිසම කටයුතු කරන්නේ විෂය පථයට අදාළව පමණයි


නීතීඥ නිමල් පුංචිහේවා
මානව හිමිකම් කොමිසම් සභාවේ අතිරේක ලේකම්

මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළ හැක්කේ කාටද?
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් කඩවෙලා කියලා හිතෙනවා නම් ඕනම කෙනෙකුට මානව හිමිකම් කොමිසටමට පැමිණිලි කිරීමේ හැකියාව තියෙනවා.

ඒ කොපමණ කාලයක් ඇතුළතද?
උල්ලංඝනය සිදුවෙලා මාස තුනක් ඇතුළත කොමිසමට පැමිණිලි කල යුතුයි. එය වධහිංසා සම්බන්ධයෙන් බලපාන්නේ නැහැ.

පැමිණිල්ලක් ලැබුණු පසු කොමිසම ඒ වෙනුවෙන් ගන්නා පියවර මොනවාද?
පැමිණිල්ල විභාග කිරීම සහ විමර්ශන කටයුතු කිරීම අදාළ නිළධාරීන්ට පවරා එමගින් නිර්දේශ නිකුත් කිරීම.

මානව හිමිකම් කොමිසම නිකුත් කරන නිර්දේශ එම අදාළ ආයතන ක‍්‍රියාත්මක නොකරන අවස්තා තිබෙනවාද ?
සියයට විස්සක් පමණ එවැනි අවස්තා තිබෙනවා. ප‍්‍රධාන වශයෙන් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ ආයතන තමයි දැනට එවැනි නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමේ දුර්වලතාවක් පෙන්නුම් කරන්නේ.
බරපතල මානව හිමිකම් කඩවීම් සම්බන්ධව මීට පෙර විමර්ශන කටයුතු සිදුවූ අවස්ථා වල කොමිසම අගතියට පත් පාර්ශ්වයන් වෙනුවෙන් සිය නීතීඥයින් යෙදවූවා. නමුත් දැනට සිදුවෙන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන වලදී අගතියට පත් පාර්ශ්වයන් වෙනුවෙන් කොමිසම එවැනි සහනයක් ලබා දුන්නේ නැහැ.
යම්කිසි විශේෂ සිදුවීමක් සම්බන්ධයෙන් කොමිසම එවැනි ඉදිරිපත් වීම් සිදුකරනවා. දැනුත් කොමිසම එවැනි සමහර සිදුවීම් වෙනුවෙන් පරීක්ෂණ සිදුකරන අවස්තා තිබෙනවා. ත‍්‍රිකුණාමලයේ ඝාතනය වූ දාහත්දෙනාගේ සිදුවීම සම්බන්ධයෙන් අපි මූලික පරීක්ෂණය සිදුකර ජනාධිපති කොමිසමට වාර්තාවක් ඉදිරිපත් කළා. නමුත් අපේ විෂය පථයෙන් එහාට ගිය පුද්ගල සිද්ධි සම්බන්ධයෙන් ඒ වෙනුවෙන් කටයුතු කරන කොමිසම් සභාවලට පැවරී ඇති බල තල අනුව අපි ඒ කාර්ය පවරනවා.

කොමිසම් සභාවේ ප‍්‍රධාන කාර්ය භාරය කුමක්ද
ප‍්‍රධාන කාර්ය භාරයන් තුනක් තියෙනවා. එක රට තුළ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. දෙක අයිතිවාසිකම් ප‍්‍රවර්ධනය කිරීම. තුන මානව හිමිකම් පිළිබඳ ප‍්‍රජාව දැනුවත් කිරීම.

කොමිසමට නිළධාරීන් පත්කිරීම, කොමිසමේ ස්වාධීනතාව, වාර්ෂික වාර්තා නිකුත් නොකිරීම, ආපදා අවස්තාවල කි‍්‍රයාත්මක නොවීම, සිවිල් සංවිධාන සමඟ සබඳතා බිඳ වැටීම යන ජාත්‍යන්තර නිර්ණායකයන් සලකා බලා මානව හිමිකම් කොමිසම ඒ ශ්‍රේණියේ සිට බී ශ්‍රේණිය දක්වා පහත හෙලූවා. ඒ වෙනුවෙන් කොමිසම ගෙන ඇති පියවර මොනවාද?
ඒ සඳහා බලපෑවේ ඉන් හේතු තුනක් පමණයි. එක ඔබ සඳහන් කළ කොමසාරිස්වරුන් පත් කරන ආකාරය. දෙක වාර්ෂික වාර්තා නිකුත් නොකිරීම. තුන එක්දාස් නවසිය අසූගණන් වල අතුරුදහන් වීම් සම්බන්ධව තිබු පුද්ගලයන් දෙදාහකගේ පරීක්ෂණ කටයුතු අවසන් කර නොතිබීම. සිවිල් සංවිධාන සමඟ සබඳතා බිඳ වැටීම කියන කාරණය එහිදී ඔවුන් සඳහන් කළේ නැහැ.

එතකොට කොමිසම සිවිල් සංවිධාන සමඟ පැවැත්වු සබඳතා බිඳ වැටීම කියන කාරණය බී ශ්‍රේණිගත කිරීමට බලපෑවේ නැහැ කියලද ඔබ කියන්නේ ?
එම කාරණය ඔවුන් සඳහන් කරලා තිබුණේ නැහැ.

බී ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් කොමිසම් සභාවේ ස්ථාවරය මොකක්ද?
මෙහි පත් කිරීම් සම්බන්ධයෙන් කොමිසම් සභාවේ කාර්ය මණ්ඩලයට වගකීමක් දරන්න බැහැ. ජනාධිපතිතුමා අදාළ පත්වීම් සිදුකලා. කොමිසම ක‍්‍රියාත්මක වුණා. එහි නීතිමය භාවය ගැන අධිකරණයටත් ගියා. නමුත් අධිකරණයත් ඒ ගැන ප‍්‍රශ්න කරන්න බැහැ කියලා දන්වලා තියෙනවා. එම කාරණය නීතිය හා ව්‍යවස්ථාව සම්බන්ධ ගැටළුත් එක්ක බැඳිලා තියෙනවා. වාර්තා නිකුත් නොකිරීම සම්බන්ධයෙන් කියනවා නම් බී ශ්‍රේණිගත කරනකොටත් අපි වාර්තා සකස් කරලා අවසන් වෙලා භාෂා තුනෙන්ම පරිවර්ථන කටයුතු සිදුකෙරෙමින් තිබුණේ. තුන්වන කාරණය ගැන කිව්වොත් ඔවුන් කියන පුද්ගලයන් දෙදාස් ගණනකගේ අතුරුදහන් වීම් එක්දාස් නවසිය අසූගණන් වල සිදුවූ ඒවා. ඒ වන විටත් ඒවා ගැන සොයා බලා පරීක්ෂණ වාර්තාවක් නිකුත් කරලයි තිබුණේ. ඒ නිසා කොමිසම විශ්වාස කරනවා ඉදිරියේදී මේ තත්ත්වයේ වෙනසක් වෙයි කියලා.

නමුත් පසුගියදා ඒෂියා ෆැසිපික් ෆෝරම් එකේදී මානව හිමිකම් කොමිසම සිවිල් සංවිධාන සමඟ පවත්වන සබඳතා බිඳ වැටී ඇති බව පැහැදිලිව කියවුණා.
සිවිල් සංවිධාන සමඟ සහ සම්බන්ධයක් පැවැත්වීම කොමිසමේ වගකීමක්. කොමිසම සමඟ කටයුතු කිරීමට එක්වෙන්න කියලා සිවිල් සංවිධාන වලට අපි ආරාධනා කළත් පසුගිය කාලයේ කොමිසමේ පත් කිරීම් නිවැරදි නැහැ කියා ඔවුන් දරපු ස්ථාවරය නිසා බොහෝ සිවිල් සංවිධාන කොමිසමේ කටයුතු වලින් ඉවත් වුණා.

ලංකාවේ වර්තමාන මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් වාර්ථාවක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී මැතකදී කොමිසම සිවිල් සංවිධානයකට ප‍්‍රකාශ කර තිබුණා ‘ඔයාලා අපිව විවේචනය කරන නිසා අපි ඔයාලට වාර්තා ලබා දේන්නේ නැහැ’ කියලා. විවේචනය කළ යුතු කාරණා එසේ නොකර සැඟවීමද කොමිසම සිවිල් සංවිධාන වලින් අපේක්ෂා කරන්නේ?
ඔය කියන කාරණය නිවැරදිද කියලා පුද්ගලිකව මම දන්නේ නැහැ. කොමිසම හැටියට එවැනි ප‍්‍රකාශයක් කරා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් සමහර විට යම් කොමසාරිස්වරයෙක් තමන්ගේ පුද්ගලික අදහසක් එසේ ප‍්‍රකාශ කළා වෙන්න පුළුවන්.

මානව හිමිකම් කඩකිරීමක් හෝ වෙනයම් තොරතුරක් ලබා ගැනීමට සිවිල් සංවිධාන වලට අයිතියක් තිබෙනවාද?
ඔව්. සමහර තොරතුරු හෙළිදරව් කිරීමේ ගැටළුවක් නැහැ. නමුත් ඇතැම් තොරතුරු අප හෙළි කරන්නේ සංඛ්‍යාත්මකව පමණයි. ඒ රහස්‍ය භාවය ආරක්ෂා කළ යුතු නිසා.

කොමිසම සිවිල් සංවිධානවල සහයෝගය බලාපොරොත්තු වනවාද?
කොමිසම සිවිල් සංවිධානවල සහයෝගය බලාපොරොත්තු වෙනවද, නැත්ද කියන ගැටළුව පැන නගින්නේ නැහැ. අපට නියමිත කාර්ය භාරය තුළ ඔවුන් සමඟ අප කටයුතු කළ යුතුයි. නමුත් මෑත කාලයේ ඉස්සර තරම් ඔවුන් කොමිසම සමඟ සමීප වුණේ නැහැ. සිවිල් සංවිධාන ගැන මට විවේචනයක් තියෙනවා. ඉස්සර සිවිල් සංවිධාන විවිධ ගැහැට වලට මුහුණ දෙමිනුයි සමාජය තුළ මිනිස්සු සංවිධානය කරගෙන මානව හිමිකම් කඩවීම් වලට එරෙහි වුණේ. දැන් බොහෝ සිවිල් සංවිධාන ඉතා පහසුවෙන් කටයුතු කරන තත්ත්වයකට පත්වෙලා. පත්තරේකට ලියුමක් ලියලා, ජීනීවා කමිටුවට වාර්තාවක් යවලා. මාධ්‍යට ප‍්‍රකාශයක් කරලා පැත්තකට වෙනවා. වෙන කාට හරි කොන්තරාත් දීලා තමන්ගෙන් කෙරෙන්න ඕන සමාජමය වගකීම පැහැර හැරලා ගෙදර ගිහින් නිදා ගන්නවා. සිවිල් සංවිධාන වල ගුනාත්මක පිරිහීමක් තියෙනවා. ඔවුන් කොමිසම විවේචන කළ යුතුයි. නමුත් ඒ විවේචන සාධනීය විය යුතුයි. ප‍්‍රතික්ෂේප කිරීම නොවෙයි කළ යුත්තේ. මානව හිමිකම් කොමිසම වැනි ආයතන පිහිටුවලා තියෙන්නේ විශාල කාලයක් තිස්සේ බොහෝ කැපවීම්, අරගල කරලා. එහි කටයුතු විවේචනය කර ඒවා නිවැරදි කරගන්න උත්සාහ නොකර ප‍්‍රතික්ෂේප කරනවා නම් එහිදී සිවිල් සංවිධාන තමන්ගේ වගකීම හරියට ඉටු කරනවාද කියලා ගැටළුවක් පැන නගිනවා.

කොමිසමට පත් කරන නිළධාරීන් ස්වාධීනව තම රාජකාරිය කරන්නේ නැහැ කියලා බරපතල චෝදනාවක් නැගෙනවා
අපි කොහොමද එහෙම කියන්නේ. යම් කිසි සිද්ධියකදි යම් නිළධාරියෙක් එහෙම ක‍්‍රියා කළා කියනවා නම් අපිට පුළුවන් ඒ ගැන පරීක්ෂණ කරලා ඇත්ත සොයාගන්න. නිළධාරීන් ස්වාධීන නැහැ කියන එක සමාජයේ ඇති වෙලා තියෙන මතයක් විතරයි. ඒ අය ස්වාධීනද නැත්ද කියන එක අප යම් යම් ක‍්‍රියාකාරකම් ඔස්සේ උරගා බලන්න ඕන.

කොමිසමට ක‍්‍රියාත්මක වෙන්න තියෙන බාධා මොනවාද?
ක‍්‍රියාකාරීත්වය අතින් බාධා දෙකක් තියෙනවා. එක බාධාවක් තමයි ප‍්‍රමාණවත් මූල්‍යමය ප‍්‍රතිපාදන නොමැතිවීම අනෙක් බාධාව කොමිසමේ නිර්දේශයන් ක‍්‍රියාත්මක කිරීම බලාත්මක කිරීමට ප‍්‍රතිපාදන නොමැතිවීම.

කොමිසමේ නිළධාරීන්ට ස්වාධීනව කටයුතු කිරීමට ඇති වූ බාධාවක් ලෙස පසුගිය දිනෙක මානව හිමිකම් කොමිසමේ අභ්‍යන්තර අවතැන් වුවන්ගේ ව්‍යාපෘති කළමණාකරු සේනක දිසානායකට වවුනියාවේ මැණික් ෆාම් කියන අවතැන් කඳවුරට ඇතුල් වීමට ඉඩ නොදීම දක්වන්න පුළුවන්
ඔය සිද්ධිය වාර්තා වෙලා තිබුණේ නැහැ. ඔබ කියනකොටයි මම දන්නේ. ඔහු කොමිසමේ කොමසාරිස්වරුන්ට වාර්තා කරලා ඒ වෙනුවෙන් පියවර ගෙන ගැටළුව විසදා ගත්තද කියලා මම දන්නේ නැහැ. ඇත්තටම එහෙම බාධාවක් සිදු වුණා නම් ඒක බරපතල තත්වයක්. එය අපි නිරාකරණය කර ගත යුතුව තිබුණා. නමුත් මම පුද්ගලිකව ඒ සිද්ධිය ගැන දැන ගෙන හිටියේ නැහැ.

සන්නද්ධ ගැටුමක් පවතින අවස්තාවකදී මානව හිමිකම් කොමිසමට විශාල කාර්ය භාරයක් පැවරෙනවා. එහිදී කොමිසම කටයුතු කරන්නේ කොහොමද?
මෙවැනි අවස්තාවලදී අපේ කාර්ය භාරය ඉතා සියුම් සහ බරපතල ස්වභාවයක් ගන්නවා. අපි යුද්ධයට කැමති හෝ අකමැති වුණ ත් යුද්ධයකදී මිනිසුන්ගේ අයිතිවාසිකම් කඩවීම් වැඩියි. මේ නිසා සෑම අතකින්ම අපට පැවරෙන කාර්ය භාරය විශාලයි.

කොමිසමේ වර්තමාන කාර්ය භාරය ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද?
යම් ප‍්‍රමාණවත් වැඩ කොටසක් කරන බව මම විශ්වාස කරනවා. නමුත් ඊට වඩා වැඩ කොටසක් කළ හැකියි සහ කළ යුතුයි කියන ස්ථාවරයේ මම ඉන්නවා.

අධිකරණය සහ විධායකය අතර උද්ගත වෙලා තියෙන ගැටළුව සම්බන්ධයෙන් පුරවැසියන්ගේ පාර්ශ්වයෙන් කොමිසම මැදිහත් වෙනවාද ?
රටේ පවතින යුධමය තත්ත්වය නිසා කොමිසමේ එවැනි මැදිහත් වීම් වලින් වෙනත් ගැටලූ රාශියක් ඇති වෙනවා නම් ඒ ගැන අපි දෙවරක් සිතිය යුතුයි. ඒ නිසා කොමිසම කටයුතු කරන්නේ එහි විෂය පථයට අදාළව පමණයි.

ලංකාවේ මානව හිමිකම් තත්ත්වය වර්ධනය කිරීමට කොමිසමේ පාර්ශ්වයෙන් ගත හැකි පියවර මොනවාද?
මූලිකම දේ කොමිසමේ නිර්දේශ, තීරණ බලාත්මක කිරිම. නමුත් එය සිදුකළ හැක්කේ කොමිසමට නොවෙයි සිවිල් සංවිධාන වලට. ඔවුන් ඒ වෙනුවෙන් කොමිසම සමග එක්වී යම් ක‍්‍රියාකාරීත්වයක් ගෙන යා යුතුයි.

ඔබ ආරාධනා කරනවාද සිවිල් සංවිධාන වලට කොමිසම සමඟ එකතුවෙලා සහයෝගයෙන් කටයුතු කරන්න එන්න කියලා.
ඔව්. මම ආරාධනා කරනවා සිවිල් සංවිධාන වලට අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒ සඳහා විවෘත ඉඩක් තියෙනවා.

Sunday, January 11, 2009

Sketching Human Rights කාටුන් ප‍්‍රදර්ශනය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප‍්‍රඥප්තියට වසර 60 ක් පිරීම නිමිත්තෙන් පසුගිය දෙසැම්බර් 10 දා එක්සක් ජාතීන්ගේ මූලස්ථානය පැවැත්වූ Sketching Human Rights කාටුන් ප‍්‍රදර්ශනයට ලෝකයේ රටවල් කීපයකින් ඉදිරිපත් වූ කාටුන් කීපයකි මේ.







Dengcoy - Singapore


Jugoslav Vlahovic serbia




Kostas Mitropoulos Greece


onathan Shapiro (Zapiro) South Africa