Monday, May 4, 2009

එද එවන් ලොවින් ලද දිනු දෙයක් නැත - තවත් එවන් රුපු කැළක් විනා

සිංහල අළුත් අවුරුදු දවස්වල අප කතා කළ අහසින් ගිය ඉබ්බාගේ කතාව ඔබට අමතක වී නැතැයි සිතමි. අප කතාව නැවැත්වුවේ සාමය, සමෘද්ධිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැඟීම සඳහා පොදු පෙරමුණ ආණ්ඩුව සෑදීමට එකතු වු හොඳ මිනිසුන් දුෂ්ඨයන් / කවටයන් බවට පත් කරමින් එම ආණ්ඩුව අවසන් වූ අකාරයයි.
එම ලිපිය ලියන අතරතුර, චන්ද්‍රිකා ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩලය මතක් කර ගැනීමට සෑහෙන වේලාවක් ගත වු අතර එතරම් වෙහෙස මහන්සියෙන් සැකසු නාමාවලියෙන් ද එක නමක් මඟහැරී ඇති බව මට පසුව වැටහුණි. මඟහැරී ඇත්තේ සුළු පටු කෙනෙකු නොව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවකට මහ ලේකම් ව සිටි ධර්මසිරි සේනානායක මහතාය. ඒ ගැන මගේ කණගාටුව පළ කරන අතරම, පුද්ගලයන් මතකයෙන් ගිලිහී යන වේගය අනුව දැන් සිටින වීරයන්ට තව අවුරුදු පහකදී අත්විය හැකි ඉරණම පිළිබඳවද මහත් කණගාටුවක් ඇතිවිය.

පොදු පෙරමුණ අවසන් වී, බලය අහිමි වී පින් පිරිහී සිටින කාලයේදී අළුත් සන්ධානයක් ගොඩ නඟන ලදි. ඒ එක්සත් ජනතා නිදහස් සංධානයයි. ටික කාලකට පසු, එවකට තිබු චන්ද්‍රිකා කුමාරතුංග නායකත්වය පුපුරා හරිමින් එම සන්ධානය මහින්ද රාජපක්ෂ මහතා කේන්ද්‍ර කරගනිමින් නැවත සංවිධානය විය.

ජනාධිපති ධුරයට පත් වු මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ සහායකයන්ට පෙනී ගියේ තමාට උරුම වී ඇත්තේ බටහිර ආධිපත්‍යයට යටවුණු, එන්.ජී. ඕ වල බලපෑමට හසුවුණු, සිංහලකම නොතකන, කැඞී බිඳී ගිය පුද්ගලවාදී සමාජයක් බවයි. මෙම සමාජය එල්.ටී.ටී.ඊ සංවිධානයේ ‘ත‍්‍රස්තවාදී’ තර්ජනයට ලක්ව සිටින අතර, උතුරු නැගෙනහිර පළාතේ භූමියෙන් සෑහෙන කොටසක් එහි පාලනය යටතේ පවතී. සමාජය නැමැති පරිකල්පනීය සමස්තය ගොඩනැගීම පිණිස බැහැර කොට තබන ලද දෙමළ ප‍්‍රජාව නැමැති ශේෂය විසින් පෙරළා එල්ල කරන ලද ප‍්‍රහාරයෙන් බිඳ වැටුනු සමතුලිතතාවය නැවත ගොඩනගා ගැනීම එම ශේෂය සම්පුර්ණයෙන්ම විනාශ කිරීම සඳහා යුධ මෙහෙයුමක් ආරම්භ කිරීමට සන්ධාන රජය තීරණය කරන ලදි.
මෙම කටයුත්ත ඉටුකර ගැනීම පිණිස රාජ්‍යයේ සියළු සම්පත් ඒකරාශී කරන ලද්දේය. යුධ ව්‍යායාමයට බාධා කරන්නවුන් නිර්දය ලෙස මර්දනය කරන ලදි. රාජ්‍යයේ මර්දන උපකරණ සම්පුර්ණයෙන්ම යුද්ධ වෙනුවෙන් යොදවා ගන්නා විට මතවාදී උපකරණ යොදාගෙන එම ව්‍යායාමය සාධාරණීයකරණය කොට සමාජයේ සෙසු සියළුදෙනාගේ සහයෝගය ඒ සඳහා දිනාගන්නා ලදි. වෙනත් විදිහකින් කිව්වොත්, බැහැර කරන ලද බාහිර සතුරා විනාශ කිරීම සඳහා සියළුදෙනාගේම සහයෝගය ලබා ගැනීම මඟින් සමාජය නැමැති පරිකල්පනීය සමස්තය නැවත ගොඩනඟන ලදි.
තත්ත්වය අනුභූතිකව දුටු සියළු දෙනාම කල්පනා කළේ මේ වාරයේ නම් වැඬේ හරිගිය බවයි. මෙතෙක් කාලයක් හරි යන්නේ නෑ ඕක නම් හරි යන්නේ නෑ මයි කියු චව් චව් ලා ද ‘කැප්ටන් දිය රකුස් ’ අතහැර දමා ‘දොස්තර හොඳ හිතගේ’ නැවට ගොඩ වී කරට අත දමා ගෙන සාටක ද පළඳා ගත්හ. මුළු සමාජය ම බඩට උඩින් රට තබා උතුර බලාගෙන භාවනා කළ අතර, කනබොන රමණය කරන මිනිසෙකු ගැන විශ්වාස කරමින් අනූව දශකයේදී ‘කොළ පාට සමාජය ලියු චන්ද්‍රපේමද පුදුම වී නිල් පාටට හැරුණි.

එක දිගට අවුරුදු තුනක් සටන් කොට, යුද්ධය අවසන් කළා යැයි කියා කට ගන්නට පෙර සිදු වී ඇත්තේ කුමක්ද ? ආර්ථිකය බිඳ වැටිලාය, නීතියේ පාලනය ක‍්‍රියාත්මක කිරීමට ගොඩනඟා තිබු ආයතන පද්ධතිය විහිළුවක් බවට පත්වෙලාය. ලක්ෂ එක හමාරකට වැඩි ජනතාවක් අවතැන් වෙලාය. තවත් ලක්ෂ භාගයක් පමණ ජනතාවක් යුද මුක්ත කලාපය තුළ ගැටුමට මැදි වී සිරවෙලාය. ලංකාවේ ජාතික රාජ්‍යයේ සීමාව තුළ විසඳා ගත යුතුව තිබු ප‍්‍රශ්නයක් තමිල්නාඩුව සහ බටහිර රටවල් විසින් විසඳන මට්ටමට මාරු වෙලාය. ආර්. දුමින්ද සිල්වා මහතා කොළඹ දිස්ත‍්‍රික් සන්ධාන ලැයිස්තුවේ වැඩිම මනාප ලබාගෙන ජයග‍්‍රහණය ලබලාය. තමන් සතු සකල මනාව ම උගස් කොට, සතුරා විනාශ කිරීමට කළ සටන අවසානයේ ජයග‍්‍රහණය ප‍්‍රකාශ කළ මොහොතේ දැන් පෙනෙන්නේ, දසිස් දිනා රුපු රජුන් නසා -ලොව තෙදින් තමා නතු කළෙමි මෙමා- එද එවන් ලොවින් ලද දිනු දෙයක් නැත- තවත් එවන් රුපු කැළක් විනා බවයි.

එබැවින් දැන් සිදු වී ඇත්තේ විනාශ කිරීමට ගිය එක ප‍්‍රභාකරන් වෙනුවට සතුරන් රාශියක් - රුපු කැළක් හමුවීම නොවේද ? වයිකෝ, රාම්දාස්,කරුණානිධි,ජය ලලිතා,ඬේවිඞ් මිලිබෑන්ඞ්, බර්නාඞ් කුෂ්නර්, හිලරි ක්ලින්ටන්, ගෝඞ්න් බ‍්‍රවුන්,සහ හෙට අනිද්දා වනවිට බරක් ඔබාමා දක්වාම ඒ ලයිස්තුව දිගුවනු ඇත.

අනෙක් පැත්තෙන් උදය ගම්මන්පිල මහතා ප‍්‍රභාකරන්ගෙන් පසු බෙදුම්වාදී ව්‍යාපාරයේ නායකත්වය ගැනීමට දෙමළ ‘මොහොමඞ් අලි ජින්නා’ කෙනෙකු බටහිර රටක ඩයස්පෝරාවෙන් හෙවත් විදේශගත දෙමළ ප‍්‍රජාව වෙතින් මතු වී ඇතැයි පරිකල්පනය කරන්නේ ද එබැවිනි.
(කතාව තව ඉවර නැහැ)