Wednesday, December 10, 2008


රෝසි සේනානායක
එක්සත් ජාතික පක්ෂ
බටහිර කොළඹ ආසන සංවිධායිකා

සාකච්ඡා කළේ- තාරා ශ‍්‍රී රාම්

රෝසි සේනානායක කියන්නේ කවුද කියලා ඇහුවොත් මේ අවස්ථාවේ ඔබව හඳූන්වා දෙන්නේ කොහොමද ?
මගෙන් ඒක අහනවට වඩා මාත් එක්ක වැඩ කරන අය හෝ දරුවන්ගෙන් ඇහුවොත් වඩාත්ම හොඳයි ඒක. කෙනෙක් කෙනෙක් ගැන තක්සේරුවක් කරද්දි ඒක කොයි විදිහට අර්ථකතනය වෙයිද කියලා දන්නේ නැහැ. නමුත් මගෙන් ඈත් වෙලා ස්වාධීනව කොයි වගේ කෙනෙක්ද කියලා කියනවා නම්, මම ගොඩක් මිනිස්සුන්ට ආදරය කරන, මිනිස්සු දිහා අපක්ෂපාතීව බලන, මිනිස්සුන්ගේ සෘණ පැත්තට වැඩිය මිනිස්සුන්ගේ ධනාත්මක පැත්ත බලන, මානව හිතවාදී ලෙස හිතන කෙනෙක් ලෙසයි මම දකින්නේ.

ඔබ රූ රැජිනක්. ඒ වගේම නිළියක්. ඇයි ඔබ දේශපාලනයට ආවේ................
මම නිළියක් කියන්නත් මම ලැජ්ජයි. මොකද මම චිත‍්‍රපට කර්මාන්තයට හෝ කලාවට ඒ ආකාරයේ සාධාරණත්වයක් ඉෂ්ට කරලා නැහැ. චිත‍්‍රපට දෙක තුනක රඟපෑ පමණින් නිළියක් කියලා කියන කොට මට හිතෙනවා මේ ක්ෂේත‍්‍රයට මුකුත් කරන්නේ නැතුව ඔය තනාන්තරය ලබා ගැනීම සුදුසුද කියලා. රූ රැජිණක් කියන එක ජීවිතයේ විවිධ භූමිකා තුළින් යද්දි එක්තරා මං සන්ධියකදී සිදුවුණ එක සිදුවීමක් විතරයි. අපි ඔය නිකම් ඉන්න කොට මොකක් හරි තරඟයකට ඉදිරිපත් වෙලා ජයග‍්‍රහණය කරනවා. ඒක එතනින් ඉවරයි. නමුත් රූ රැජිණ තරඟයකට ඉදිරිපත් වුනා කියලා රූ රැජිණක්-නිළියක් වූ පමණින් ඉන් එහා දේවල් ජීවිතයේ නොසිතිය යුතුයි කියන තැනක නෙමෙයි මම ඉන්නේ. මොකද කාන්තාව විවිධ භූමිකාවන් තුළින් ගමන් කරන කෙනෙක්. දියණියක්, බිරිඳක්, මවක්, සොහොයුරියක් විදිහට මේ භූමිකා තුළ ගමන් කරද්දි සමාජයේ විවිධ ක්ෂේත‍්‍රවල‍්‍ර කාන්තාවන්ටම සුවිශේෂී වු අංශ තුළින් ඉදිරියට එන්න පුළුවන්. ඉදිරියට යන්නත් පුළුවන්. අභියෝගවලට මුහුණ දෙන්නත් පුළුවන්. ඒවායින් ජයග‍්‍රහණය කරන්නත් පුළුවන්. ඒවා තුළින් අසාර්ථක වෙන්නත් පුළුවන්. නමුත් ඔය ප‍්‍රශ්නේ මගෙන් අහන්නේ ඇයි කියන එක මට ප‍්‍රශ්නයක්. නිළියකට කවදාවත් දේශපාලනය කරන්න බැරිද? ජයලලිතා අද දකූණු ඉන්දියාවේ සාර්ථක දේශපාලනඥවරියක්. අදටත් කතා බහට ලක්වෙන ඇමෙරිකාවේ ජනාධිපති වුණ රොනල්ඞ් රේගන්, ඔහු නළුවෙක්. ඒ වගේම සමහර රටවල සාර්ථක ලෙස දේශපාලනිකව ඉස්සරහට ගියේ පිරිමින්ටත් වඩා කාන්තාවන්.

රූ රැජිනක් පාරට බැහැලා සාමාජ ක‍්‍රියාකාරිනියක් විදිහට කෑ ගහන අවස්ථා ලංකාවේ අඩුයි. ඒ ගැන ඔබේ අදහස මොකක්ද ?
ඒක අද දුර්ලභ සිද්ධියක් වුණත් අද අප ජීවත් වන්නේ මායිම් නැති පුංචි විශ්ව ගම්මානයක. ඇත්තටම මුළු ලෝක සිතියමෙන් ලංකාව බැලූවොතින් ඒක පුංචි තිතක්. සමහර රටවල් ලංකාව කියලා එකක් තියෙනවාද, ඒ කොතනද කියලවත් දන්නේ නැහැ. අපි ලංකාව ලොකුම, ආඩම්බරම, උතුම්ම රටක් විදිහට හිතාගෙන ඉන්නේ. නමුත් මම කියන්න කැමතියි ලෝකේ වෙනත් රටවල මේ දේවල් සිදු වෙනවා. ඒ ක‍්‍රීඩා, කලා, අධ්‍යාපන, සංගීත ක්ෂේත‍්‍රයේ වෙන්න පුළුවන්. කලා ලොවේ නළුවෙක් හෝ රූ රැජිනක් නිසා මේක නොකළ යුතුයි කියලා තහංචියක් නැහැ. මොකද ඕනෑම මනුස්සයෙකුට ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්. මානව හිමිකම් වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්. තමා ඉතා ප‍්‍රබලව හිතන කරුණු-කාරණා, ප‍්‍රශ්ණ ගැන, අසාධාරණයන් ගැන තදින් ම දැනෙනවා නම් ඒ ගැන ඇප කැප වී වැඩ කරන්න ඕන නම් ඒක කලා ක්ෂේත‍්‍රයේ හිටියා කියලා නොකර සිටිය යුතු නැහැ. අවුරුදු විසිපහකට කලින් රූ රැජින තරඟයක් ජයග‍්‍රහණය කරලා මම ලංකාව ජාත්‍යන්තර තලයට ගෙනියන්න යම්කිසි තල්ලූවක් ලබා දුන්නා. ඒක එක සිදුවීමක් විතරයි. නමුත් මම ඔටුන්න පැළඳ ගෙන පැය විසිහතරම ගෙදර වටේ ඇවිද ඇවිද ඉන්නේ නැහැ. තමාගේ දේශයට තමාගේ ජනතාවට අසාධාරණයක් වෙනකොට යථාර්තය තේරුම් අරන් ඒ වෙනුවෙන් ශක්තිමත්ව නැඟී සිටින්න ඕන.

දේශපාලනයට සහ පොදු ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙන කාන්තාවන් දිහා සමාජයේ මිනිස්සු බලන්නේ උපහාසයෙන්. ඇතැම් විට ඔවුන්ගේ පෞද්ගලික ජිවිතයත් පටලවාගෙන අපහාස කිරීම ඔබ දකින්නේ කොහොමද
කාන්තාවන් පමණක් නෙවෙයි පොදුවේ ගත්තොත් අද පවතින හිරිකිත දේශපාලන ක්ෂේත‍්‍රයේ සිටින සෑම කෙනෙකුටම සිදුවෙන දෙයක් ඒක. මෙතනදි කාන්තාව සියුමැලි සංවේදී අය නිසා කාන්තාවකට පහර ගැසීම හරි පහසුයි. ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය තුළදී අපි නිතරම පිරිමින්ට දොස් කිව්වත් කාන්තාවන්ට එරෙහිව කාන්තාවන් විසින්මත් ගරහන අවස්ථාවන් තියෙනවා. නමුත් දේශපාලනය කරන කොට මේවා දැනගෙන මුහුණ දෙන්න පුළුවන් ශක්තියත් කාන්තාවන්ට තියෙන්න ඕන.

පවතින සමාජ රටාව වෙනස් කරන්න පුළුවන් බලවේගය කුමක් කියලද ඔබ විශ්වාස කරන්නේ..........
බහු ආගමික, බහු ජාතික රටක් වන අපේ රටේ තවමත් කුල භේදය ගැන හොයන සමාජ රටාවක් තියෙන්නේ. තව කෙනෙක්ට ගරු කිරීමට, සංවේදීව සිතීමට, තව කෙනෙක්ගේ ආගම, ජාතිය, සංස්කෘතියට, ජීවන රටාවට ගරු කිරීමට අවශ්‍ය මානසික තත්ත්වය සහ ආකල්පමය වෙනසක් ඇති කර ගන්නා තෙක් පවතින සමාජ රටාව වෙනස් කරන්න පහසු නැහැ. මේ රටේ අන්ත දුෂ්කර ප‍්‍රදේශවල ජීවත්වන මිනිස්සු ජීවිතේ පණ ගැට ගහගන්න සටන් කරන හැටි දැක්කාම 1948 අපි සැබෑ නිදහසක් ලැබුවාද කියා හිතෙනවා. වන සත්තු එක්ක, යුද්දෙ එක්ක ඔවුන් ගෙවන ජීවිතේ දැක්කාම urban කියන කොළඹ පරිසරයේ ජීවත් වන ජනතාව එය දන්නවා කියලා මම හිතන්නේ නැහැ. අපිට මාධ්‍ය විසින් කියන දේවල් දැකලා අපි සෑහීමකට පත් වෙනවා. මේ රට මේ පවතින තත්ත්වයෙන් ගොඩ ගන්න නම් අපි ඉස්සෙල්ලාම එක රටක්, එක ජාතියක් කියන හැඟීමකින් යුක්තව විශේෂයෙන්ම අපේ තියෙන ආකල්ප හා මානසිකත්වයන් වෙනස් කර ගන්න ඕන. මෙවැනි මානසිකත්වයක් නෙවෙයි මේ රට නිදහස ලබා ගන්න කොට ඒ වකවානුවේ ජීවත් වෙච්ච මගේ සීයලා, මුත්තලා, අත්තම්මලාට තිබුණේ. මුළු කලාපයම ඉරිසියාවෙන් බලපු රටක් එදා ශ‍්‍රී ලංකාව. අපි ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයෙන් ශක්තිමත් වෙච්ච, ඒක පුද්ගල ආදායම ජපානයත් එක්ක සංසන්දනය කරන විට එක ඩොලරයක වෙනසක් තිබ්බ, දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානය රටවල් වලට වන්දි ගෙවමින් යනවිට ඒ වන්දි ප‍්‍රතික්ෂේප කරපු සියලූ ජාතීන් එකට ජීවත් වෙච්ච රටක්. ඒ රට අද මෙතැනට ගේන්න ජනතාවගේ ආකල්ප වෙනස් කළේ කවුද? පටු දේශපාලන වාසි තකා බලය ලබා ගැනීමේ පරමාර්ථයෙන් පමණක් කටයුතු කරපු ඇතැම් දේශපාලඥයන් කියලා මම නිර්භයව කියනවා. අද වෙනකොටත් ලෝකයේ ඉහළම ස්ථාන වල ශ‍්‍රී ලාංකීක සම්භවයක් තියෙන පිරිස් ඉන්නවා. නමුත් අද මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබන දරුවෙකුට තමාගේ රටේ සංවර්ධනයට දායක වෙන්නත්, තමා සංවර්ධනය කරගැනීමටත් අවශ්‍ය පරිසරය අපි බිහි කරලා දීලා නැහැ. ඒක බිහිකර දීමේ පරමාර්ථය මත තමයි මම අද දේශපාලනයට ආවේ.

ඇයි එක්සත් ජාතික පක්ෂය ඔබේ දේශපාලනයට තෝරාගත්තේ. ඒක අහම්බයක්ද ?
හොඳ ප‍්‍රශ්ණයක් ඒක. නිදහස ලබපු දා පටන් අද වෙනකම් මේ රටේ සංවර්ධනමය පැත්තෙන් බැලූවත්, මානව හිතවාදී පැත්තෙන් බැලූවත් ජන ජීවිතය ස්වයංපෝෂිත කිරීමට කවුරු මොනවා කිව්වත් සියයට අසූවකට වැඩිය කටයුතු කරල තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය. අද අපේ රටට ජීවත් වෙන්න ආර්ථිකයක් ඉතුරු වෙලා තියෙනවා නම් අවංකවම කියන්න ඕන ඒ එක්සත් ජාතික පක්ෂය ස්ථාපිත කළ ආර්ථිකයක්. එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්ති මම විශ්වාස කරනවා. මම ඒවට ගරු කරනවා. හැම එකකටම නෙවෙයි. සමහරක් ඒවට මම හිස නමන්නේ නැති අවස්ථා තියෙනවා. නමුත් සම්ප‍්‍රදායක් විදිහට එක්සත් ජාතික පක්ෂය ගන්න තීන්දු තීරණ වලට මම එකඟ වෙනවා. ඉතිහාසය දිහා බැලූවහම එක්සත් ජාතික පක්ෂය තරම් ප‍්‍රබල පක්ෂයක්, රටට ජනතාවට සේවය කරපු පක්ෂයක් මට තවත් නම් කරන්න බැහැ.

සියලූම සමාජ ක‍්‍රියාකාරකම් වලින් පිටස්තරව බිරිඳක් විදිහට, මවක් විදිහට ඔබේ ඉස්මතු වීම පවුල තුළට කොහොමද බලපාන්නේ
නැහැ පවුල තුළ මම ඉස්මතුවෙලා නැහැ. මගේ ගෙදර ගෘහ මූලිකයා මගේ ස්වාමිපුරුෂයා. මම තාමත් ස්වාමි පුරුෂයාගෙන් යැපෙන, ඔහුගේ රැකවරණය, ආදරය, සහය ලබන කෙනෙක්. දේශපාලනය ඇතුලූව මම කරන සෑම කටයුත්තකටම ඔහුගේත්, දරුවන්ගේත් සහය මට ලැබෙනවා. අපි දෙන්නා අතර හොද අන්තර් විශ්වාසයක් තියෙනවා.

ලංකා දේශපාලනයේ ස්ත‍්‍රී නියෝජනය සියයට හතරක් තරම් අඩු ප‍්‍රතිශතයක් තියෙන්නේ. ඒකට හේතුව විදිහට ඔබ දකින්නේ මොකක්ද ?
මම හිතනවා ව්‍යවස්ථාවේ වෙනස් විය යුතු කරුණු රාශියක් තියෙනවා කියලා. එම වෙනස් කිරීමට තිබෙන අවශ්‍යතාව සම්බන්ධයෙන් කොයි මොහොතකවත් කතා කරන්නේ නැහැ. ඒ නැත්තේ පාර්ලිමේන්තුවේ බහුතරයක් පිරිමි නිසාද, ඔවුන් සංවේදීව කාන්තාවන්ගේ ප‍්‍රශ්න ගැන හිතත්නේ නැති නිසාද, නැත්නම් මේවා ප‍්‍රශ්න නෙවෙයි කියලා හිතන නිසාද කියලා හැගීමක් මට ආවා. ඒ එක්කම මම දේශපාලනයට ගොඩක් ලැදි කමක් දක්වන, කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන කෙනෙක් විදිහටත් ලංකා දේශපාලනයේ ස්ත‍්‍රී නියෝජනය ගැන සැළකිලිමත්. උදාහරණයක් විදිහට ගෘහස්ථ හිංසනය පිළිබඳ පනත් කෙටුම්පත පළමු වතාවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලාම මේක දික්කසාදයට ලයිසන් එකක් කියල එළියට දැම්මා. ඒ එළියට දැම්මේ අපේම සහෝදරයෝ. ඒ නිසා ව්‍යවස්ථාවේ අඩුපාඩුකම් මග හරින්න අනිවාර්‍යයෙන්ම කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුවේ තිබිය යුතුයි. අනෙක අපි හිතනවා බෙදුම් වාදයට හේතුව දේශපාලනඥයෝ කියලා. නමුත් රටේ බෙදුම් වාදයට කළින්, පාර්ලිමේන්තුවේ බෙදුම් වාදයට කළින් මේ බෙදීම ආරම්භ වෙන්නේ පවුලෙන්. පෝෂණය වැඩියෙන් අවශ්‍ය දියණියට නොදී පුතාට මාළු කෑල්ලක් දෙන පවුලේ භූමිකාවෙන්.

සාමාන්‍යයෙන් ලංකාවේ කාන්තාවන්ගේ ජීවිතයේ ප‍්‍රමුඛතාව ලැබිලා තියෙන්නේ පවුල තුළට. ඇය සමාජයේ කටයුතු කරන පරිමාණය අඩුයි. එහෙම නැත්නම් බාහිර සහ අභ්‍යන්තරිකව සැමියාගේ සමාජ කටයුතු වලට දෙන සහයෝගය අඩුයි. ඒ ගැන ඔබේ අදහස මොකක්ද ?
මම ඒකට ඔබත් එක්ක එකඟ වෙන්නේ නැහැ. අද කාන්තාවගේ භූමිකාව ගැන කතා කරන කොට කාන්තාව මවක්, භාර්‍යාවක් විතරක් නෙවෙයි පවුල රැකගන්නත් දැඩි වෙහෙසක් දරනවා. මම දකින විදිහට වර්තමාන සමාජයේ කාන්තාවගේ මවක් කියන භූමිකාව ඉතා පුළුල් වෙලා තියෙනවා. ඒ නිසාම ඇයට විශාල කාර්යයන් ප‍්‍රමාණයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. අඟලූම් කර්මාන්තයේ වැඩ කරන කාන්තාවෝ, විදේශගත වෙලා අපේ රටට සල්ලි එවන කාන්තාවෝ සහ තවත් නොයෙක් ක්ෂේත‍්‍රවල කටයුතු කරන කාන්තාවෝ රාශියක් මත තමයි අපේ රටේ ආර්ථිකය පවා අද රදාපවතින්නේ. අද මම සැබෑ රණවිරුවෝ ලෙස දකින්නේ ඔවුන්වයි.

පසුගිය දා නිමාවට පත් වූ ඇමෙරිකා ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ උප ජනාධිපති අපේක්ෂිකාව සේරා පේලින් කියන්නේත් ආකර්ශණීය කාන්තාවක්. නමුත් සමාජ ජීවිතයේදී ඉතා පසුගාමී අන්තවාදී අදහස් දරණ ඇගේ භූමිකාව ඔබ දකින්නේ කොහොමද ?
සේරා පේලීන් ආකර්ශණීය කාන්තාවක් කියන එක ඇත්ත. නමුත් ඇය එතනට පැමිණියේ ආකර්ශනීය භාවය නිසා නෙවෙයි. මම දකින්නේ ඇගේ පරාජයට හේතුව ඇගේ දේශපාලන නොදැනුවත් කම නෙවෙයි අත්දැකීම් අඩුකමයි. ඇත්තටම තරඟය තිබුනේ සේරා පේලින් අතර නෙවෙයි ඔබාමයි, මැකේනුයි අතර. සේරා පේලීන් නිසා පහළ හිටපු මැකෙන්ගෙත් ජනප‍්‍රියතාවය වැඩි වුනා.

අද දේශපාලනයට විවියන් ගුණවර්ධන වැනි කාන්තාවන්ගේ පැමිණීම විරලයි. සමාජයේ යම් ක්ෂේත‍්‍රයකින් ඉස්මතු වුණ කාන්තාවන් තමයි දේශපාලනයට පිවිසෙන්නේ. ඇයි ඒ ?
විවියන් ගුණවර්ධනගේ කාලයේ මෙරට හිටපු දේශපාලඥයින් මහත්මා ගති තිබුන අය. ඔවුන්ගෙන් ඇය වැනි කාන්තාවන්ට දේශපාලනයේ යෙදෙන්න හොද සහයෝගයක් ලැබුණා. අදත් එවැනි කාන්තාවන් නැත්තේ නැහැ ඉන්නවා. නමුත් ඔවුන්ගේ හඩ නවත්තන්න, නැගිටින්න නොදෙන පිරිස වැඩියි. අද ඉන්න දෙශපාලනඥයින් දිහා බැලූවම ප‍්‍රතිපත්ති නැති, ඕනෑම ජඩ වැඩක් කරල හරි මට බලය ලබා ගන්න, රැදී ඉන්න පුළුවන් නම් කියන මතයේ රැදිච්ච දේශපාලන සංස්කෘතියක් බිහිවෙලා තියෙන්නේ. අනෙක අද තියෙන මැතිවරණ ක‍්‍රමය නිසා ඔවුන්ට ඉදිරියට එන්න තියෙන අවකාශ අහුරලා.

කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඔබ දරණ මතය කුමක්ද ?
ලංකාවේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් මම දකින්නේ ඉතාම ශෝචනීය තත්වයක් ලෙස. අපි කොතෙක් කිවුවත් මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් කියලා. කාන්තාවන් ඉදිරියෙන් ඉන්නවා කියලා, පළමු අගමැතිනිය අපි බිහි කළා කියලා ශෝචනීය ලෙස කිව යුතු දෙයක් තියෙනවා අද කාන්තාවකට ගෞරවනීය ලෙස පාරේ බැහැල යන්න බැරි තත්වයක් ඇති වෙලා තියෙනවා.

දේශපාලනික වශයෙන් ඔබේ ඉදිරි එළැඹුම මොකක්ද ?
මුලින්ම මට විශාල උවමනාවක් තියෙනවා අපේ පක්ෂය හරහා හෝ කවදා හරි පාර්ලිමේන්තුවට ගිහිල්ලා ව්‍යවස්ථාවේ සංශෝධනය විය යුතු බොහෝ කරුණු කාරණා වෙනස් කරන්න. ඉන් එකක් පංගු ක‍්‍රමයට අනුව කාන්තා නියෝජනය ඇති කිරීම. අවම වශයෙන් සියයට විස්සක් හෝ කියන තැනට ගෙන ඒම. සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු සියළුම ක්ෂේත‍්‍රවලින් රටේ ආකල්පමය වෙනසක් ඇති කිරීම.

මානව හිමිකම් සම්බන්ධයෙන් ඔබේ දැක්ම මොකක්ද ?
ලංකාව ගැන කතාකරනව නම් මානව හිමිකම් නැත්තටම නැති තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඒක පටන් ගන්නේ ගෙදරින්. සමස්ථ සමාජයේම මානව හිමිකම් උල්ලංඝණය වෙන පරිසරයක් තියෙන්නේ. දේශපාලඥයෙක්ගේ පරම යුතුකම කෙනෙකුගේ මානව හිමිකම් ගැන ප‍්‍රථමයෙන් සලකා බැලීම. කෙනෙකුට ගරුත්වයෙන් යුතුව ජීවත් වීමට ඉඩ සැලසීම. ඒක ඒ ආකාරයෙන් සිදුවෙනවා කියන එක මට නම් ශ‍්‍රී ලාංකික කාන්තාවක් හැටියට කියන්න බැහැ.

Back to Home

Monday, December 8, 2008

ඉතිහාසයේ අවසානය ලංකාවද?

සුදර්ශන ගුණවර්ධනගේ ‘අසමබිම’ පොතේ පෙරවදනෙන් කොටස් කීපයකි මේ....
බර්ලින් තාප්පය බිඳවැටීමෙන් පසු ඇරඹුණු යුගය පිළිබඳව උදාන වාක්‍යයක් ලෙස ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා 1992 ‘ඉතිහාසයේ අවසානය හා අවසන් මිනිසා’ යන පොත ලියුවේය. එම පොතෙන් ෆුකුයාමා තර්ක කළේ අප දකිමින් සිටින්නේ හුදෙක් සීතල යුද්ධයේ අවසානය හෝ පශ්චාත් ලෝක යුද්ධ සමයේ එක් අවධියක් හෝ නොවන බවයි. ඔහුට අනුව මේ උදාවී ඇත්තේ මනුෂ්‍ය වර්ගයාගේ දෘෂ්ටිවාදාත්මක පරිණාමයේ අවසාන මොහොත සහ බටහිර ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලොව පුරා ජයග‍්‍රහණය කරන මොහොතයි හෙවත් ඉතිහාසයේ අවසානයයි. ආසන්න වශයෙන් ගත වූ දශක දෙකක කාලයක් දෙස අතීතාවලෝකනයක යෙදුණුවිට අපට පෙනෙන්නේ සවිඥනිකව හෝ අවිඥනිකව ලංකා සමාජය වැළඳගෙන ඇත්තේ ෆුකුයාමා ගෙන් කියැවෙන අදහස බවයි.

අදාළ වකවානුව තුළ ලංකාවට අදාළව බර්ලින් තාප්ප එකක් වෙනුවට තුන හතරක් බිඳ වැටුණේය.

1. උතුරු-නැගෙනහිර දෙමළ සමාජය තුළින් බිහිව රාජ්‍යයට එරෙහිව කැරළි ගැසූ සමාජවාදී හැඩරුව සහිත විමුක්තිකාමී කණ්ඩායම් සියල්ලම ඉන්දියාවේ බලපෑම සහිතව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලංකා රජය සමඟ බලය බෙදා හදා ගැනීමේ ගිවිසුමකට එළැඹීම. (ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ රාජ්‍ය මාධ්‍ය විසින් මේ කණ්ඩායම් හඳුන්වන ලද්දේ මාක්ස්වාදී ත‍්‍රස්තවාදීන් ලෙසය.)
2. දකුණු ප‍්‍රදේශවල පැතිරුණු සමාජවාදී ව්‍යාපාරය වන ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදී මදය සහ දේශපේ‍්‍රමී, ඉන්දියානු විරෝධී සහ ඊළාම් විරෝධී පිට පොත්ත සහිතව රාජ්‍යයට එරෙහිව කැරැල්ලක නිරතවීම සහ එම කැරැල්ල රාජ්‍යය විසින් අනුකම්පා විරහිත ලෙස මර්දනය කිරීම.
3. සමාජවාදී පරමාදර්ශ ඉදිරිපත් කළ, දකුණු ප‍්‍රදේශවල පැවැති වෙනත් අළුත් හා පැරණි දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ජනතා විමුක්ති පෙරමුණ තම අනෙකා කර ගනිමින් එක්සත් සමාජවාදී පෙරමුණ වශයෙන් එකට ගොනුවීම හා රාජ්‍යය සමඟ සෘජුව හෝ වක‍්‍රව සන්ධාන ගත වීම.
4. මිහායීල් ගොර්බචොව්ගේ ග්ලස්නොස්ත් (විවෘතභාවය) සහ පෙරස්ත්‍රොයිකා (ප‍්‍රතිව්‍යුහගතකරණය) හරහා සමාජවාදී රාජ්‍ය පද්ධතිය ඇතුළතින් දියකර හැරීම හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් පැවති සමාජවාදී පරමාදර්ශය බිඳවැටීම.

කාව්‍යමය බසකින් ප‍්‍රකාශ කළහොත් 1987 දී උමඟක් තුළට ඇතුළු වූ ලාංකීය සමාජයේ විවිධ දේශපාලන බලවේගයන් 1990 දී උමඟෙන් එළියට පැමිණෙන්නේ එකම වර්ණයෙන් යුතු පස්, මඩ තවරා ගත් සමජාතීය කණ්ඩායමක් ලෙසය. එහි ප‍්‍රතිඵලයක් ලෙස,

1. රාජ්‍ය හමුදා සහ වෙනත් පැරා මිලිටරි කණ්ඩායම් යොදාගෙන දකුණේ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල සම්පුර්ණයෙන්ම විනාශ කිරීම සහ අත් අඩංගුවට ගත් නායකයන් අමු අමුවේ ඝාතනය කිරීම. ජනාධිපති පේ‍්‍රමදාස විසින් 1989 දී සර්වපාක්ෂික සමුළුවක් කැඳවා මෙම සංහාරයට වක‍්‍ර අනුමැතිය ලබා ගන්නා ලදී.
2. එක්සත් සමාජවාදී පෙරමුණ කැඬී බිඳී ගොස් ශ‍්‍රී ලංකා මහජන පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟද, සමසමාජ, කොමියුනිස්ට් සහ මහජන පක්ෂයෙන් කැඞී ගිය ‘වි’ කණ්ඩායම (පසුව බහුජන නිදහස් පෙරමුණ) ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟද සන්ධානගත වීම.
3. ඉන්දු-ලංකා ගිවිසුමෙන් ඉවත්ව ඉන්දියාව සමඟ ගරිල්ලා සටනක යෙදුණු එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා අතර නොනිල ගිවිසුමක් ඇතිවීම සහ ජනාධිපතිවරයාගේ ඉල්ලීම අනුව ඉන්දියානු හමුදා ඉවත් කර ගැනීමත් සමඟම ඇති වූ රික්තය ඒ වන විට මුලතිව් වනාන්තරයට සීමා කර තිබුණේ යැයි කියන එල්.ටී.ටී.ඊ. ය විසින් පුරවමින් උතුරු-නැගෙනහිර පළාත් වල බලය තහවුරු කර ගැනීම.
4.පෙරෙස්ත්‍රොයිකාවට පක්ෂව හා විරුද්ධව වාමාංශික බුද්ධිමතුන් අතර ඇතිවූ විවාදයෙන් පෙරෙස්ත්‍රොයිකා විරෝධීන් පරාජයට පත් වී ඔවුන් ඩයිනසෝරයන් බවට පත් වීම.මේ සියළු ක‍්‍රියාවලින්හි ප‍්‍රතිඵලය වුයේ ප‍්‍රකාශන තුළ කෙසේ වුවත් සියළු දෙනාම ආර්ථික ක‍්‍රමය ලෙස ධනවාදයත්, දේශපාලන ක‍්‍රමය ලෙස ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් පිළිගැනීමයි. ඒ අනුව සමාජ සාධාරණත්වය වෙනුවෙන් අරගල කිරීම ඉතිහාසයට එක් වූ අතර, පන්ති දේශපාලනය අන්‍යනතා දේශපාලනයෙන් ආදේශ විය. සියළු දෙනාම අඩු වැඩි වශයෙන් උත්සාහ කරන ලද්දේ ධනපති රාජ්‍යය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණයකට ලක් කිරීමටය.

1990 න් පසු ඇති වූ වකවානුව තුළ එතෙක් සමාජ පරමාදර්ශයක් ලෙස සමාජවාදයට තිබුණු පිළිගැනීම අහෝසි වී එය යල්පැන ගිය එකක් බවට පත් විය. ශේෂ වූ සමාජවාදීන්ගේ පවා ප‍්‍රධාන කර්තව්‍යය වී තිබුණේ උතුරේ දෙමළ ජනතාවගේ ජාතික විමුක්ති අරගලය වෙනුවෙන් පෙනී සිටීම හෝ එයට විරුද්ධව පෙනී සිටීමයි.

මේ හිස්තැනට ආදේශ වූයේ ‘දෙවියන් නැති ලෝකයක සමාජ හර පද්ධතිය ලෙස හඳුන්වන ලද මානව හිමිකම්ය. මෙම මානව හිමිකම් ව්‍යාපෘතිය පහළ සිට ඉහළට මහජනතාව බලමුළු ගන්වන සමාජ විමුක්තිකාමී ගැලවීම්දායක මහජන ව්‍යාපාරයක් ලෙස වර්ධනය නොවූ අතර, ඒ වෙනුවට එය ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රමිතීන් දේශීය නීති තුළට අන්තර් ග‍්‍රහණය කරමින් සහ ඒවා ක‍්‍රියාත්මක කිරීම සඳහා ආයතන සහ ක‍්‍රියා පටිපාටි ගොඩනගමින් කරන ලද ඉහළ සිට පහළට යොමු වූ රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියක් බවට පත් විය.

වසර 17 ක එක්සත් ජාතික පක්ෂ පාලනය අවසන් කරමින් 1994 දී චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියගේ නායකත්වයෙන් යුතු පොදු ජන එක්සත් පෙරමුණ බලයට පැමිණියේය. මානුෂික මුහුණුවරක් සහිතව විවෘත ආර්ථිකය තවදුරටත් ඉදිරියට ගෙන යන බවට ඇය ප‍්‍රතිඥ දුන්නාය. නව පාලනයේ ප‍්‍රධාන සටන් පාඨ වූයේ සාමය, සමෘද්ධිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි.

එතෙක්, රාජ්‍යය තුළ පිළිගැනීමක් නොලැබුණු වාමාංශික සම්භවයක් ඇත,දැන් ලිබරල්වාදීන් බවට රූපාන්තරණය වූ බුද්ධිමතුන්ට සහ ක‍්‍රියාධරයන්ට ලැජ්ජාවක් නැතිව රාජ්‍යය නැමැති උපකරණය තුළට ඇතුළු වීමට මේ සමඟ අවස්ථාව ලැබිණි. එසේ ඇතුළු වීමට ඉඩ නැතිවූ සහ ඇතුළුවීමට අකමැති වූ පිරිස රාජ්‍ය නොවන සංවිධාන තුළට ඇතුළු විය. ආණ්ඩුවට හා රාජ්‍ය නොවන සංවිධාන තුළට ඇතුළු නොවූ පිරිස දේශපාලන පක්ෂ තුළ ඉතිරි වුවද, සියළු දෙනාටම එකට එක් වී වැඩකිරීම සඳහා නව න්‍යාය පත‍්‍රයක් ගොඩනැඟී තිබිණි.

1. දකුණේ කැරැල්ල මර්දනය කිරීමේ කටයුත්ත තුළ නීතිය ඉක්මවා කටයුතු කළ පුද්ගලයන්ට විරුද්ධව නීති මඟින් ක‍්‍රියාකර දඩුවම් පැමිණවීම.
මෙහිදී කැරැල්ල හේතුවෙන් කැරලිකරුවන් විසින් මෙන්ම, රජයේ හමුදා හෝ අතුරු හමුදා විසින් ඝාතනයට ලක් වුවන් සහ අතුරුදහන් කරනු ලැබුවන් වින්දිතයන් වශයෙන් සලකා ඔවුන් පිළිබඳව කරුණු සොයා බැලීමට රජය විසින් කොමිසමක් පත් කරන ලද අතර අතුරුදහන් වුවන්ගේ පවුල්වල අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණය කළ මව්වරුන්ගේ පෙරමුණ සහ අතුරුදහන් වුවන් ගේ මාපිය දුදරු සංවිධානය අළුත් ආණ්ඩුව සමඟ සහයෝගීතාවයෙන් ක‍්‍රියාකරන ලදි.
2. උතුරු - නැගෙනහිර දෙමළ ජාතික විමුක්ති අරගලය සමනය කොට ශ‍්‍රී ලංකා රාජ්‍යය තුළ බලය බෙදා හදාගත් දේශපාලන විසඳුමකට එළැඹීම සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සාකච්ඡා ඇරඹීම සහ සටන් විරාමයක් ක‍්‍රියාත්මක කිරීම.
3. මානව හිමිකම් කඩ කරන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක් වී තිබු ලංකාවේ නම පිරිසිදු කොට ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන තිබු මානව හිමිකම් සම්මුතීන් ගණනාවකට අත්සන් තැබීම සහ සපථ කිරීම.

මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් මෙම ජාත්‍යන්තර සම්මුතීන්හි සඳහන් අයිතිවාසිකම් වලින් සමහරක් දේශීය නීතිය තුළට ඇතුළත් කරන ලද අතර, රටේ විධායක හා පරිපාලන ක‍්‍රියා මඟින් සිදුවන මානව හිමිකම් කඩ කිරීම් පිළිබඳව මහජන පැමිණිළි ලබා ගෙන ඒ පිළිබඳව අධීක්ෂණය කොට නිර්දේශ ලබා දීමට බලතල ඇති ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවක් පිහිටුවන ලදි.

ඉහත සඳහන් න්‍යාය පත‍්‍රයට අමතරව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, ජනමාධ්‍ය ආයතන කෙරෙහි රජයේ පාලනය අවසන් කිරීම, කම්කරු ප‍්‍රඥප්තිය නීතිගත කිරීම, ලංකා ගමනාගමන මණ්ඩලය නැවත පිහිටුවීම ආදී විවිධ පාර්ශ්වයන්ට සම්බන්ධ වී ක‍්‍රියාකළ හැකි ප‍්‍රතිසංස්කරණ යෝජනා ගණනාවක් ද ඉදිරිපත් වී තිබුණි.

කෙසේ වුවද, මැතිවරණ ජයග‍්‍රහණයෙන් වසරක් සම්පුර්ණවීමට ප‍්‍රථම එල්.ටී.ටී.ඊ ය සමඟ පවත්වා ගෙන ගිය සටන් විරාමය බිඳවැටුණු අතර නව රජය නැවතත් යුද්ධයට අවතීර්ණ විය. ඒ සමඟම අතුරුදහන් කිරීම් වලට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමද ඇණ හිටින ලදි.

රාජ්‍යයට ඇතුළු වී හෝ එයට පිටින් සිටිමින් ඇයි හොඳයිකම් පැවැත්වු ලිබරල්වාදීන් බවට පත්ව සිටින බුද්ධිමතුන්ට හා ක‍්‍රියාකාරිකයන්ට දැන් ඉතිරි වුයේ විකල්ප දෙකකි.

1. නව රජය තේරී පත්කර ගැනීම වෙනුවෙන් ඇති වු මහජන පෙළගැසීම හේතුකොට ගෙන විවෘත වු දේශපාලන අවකාශයද ප‍්‍රයෝජනයට ගනිමින් සමාජ ක‍්‍රමය පරිවර්තනය කර ගැනීම සඳහා අරගලයක යෙදීම.
2. පරමාදර්ශ කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටී ඇති හෙයින්ද, ධනවාදී ආර්ථික ක‍්‍රමය සහ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ක‍්‍රමය හැර වෙනත් විකල්පයක් ගැන සිතීම පවා පාපයක් බවට විශ්වාස කරන හෙයින්ද, ඕනෑම විකල්පයක් අධිකාරවාදී පැසිස්ට්වාදී ව්‍යාපෘතියක් බව තරයේ සිහිපත් කර ගනිමින් පවතින සමාජ ක‍්‍රමයෙහි ම ඇලී ගැලී එය ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා ක‍්‍රියා කිරීම.

මෙම ලිපිය ආරම්භයෙහි අප තර්ක කළ පරිදි ලංකා සමාජය ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා ගේ ප‍්‍රවාදය අවිඥනිකව හෝ සවිඥනිකව වැළඳ ගෙන ඇති බව සහතික කරමින් අති මහත් බහුතරයක් විසින් තෝරා ගන්නා ලද්දේ තිබෙන සමාජ ක‍්‍රමය ‘මජර’ ක‍්‍රමයක් බව කියමින් ම එහි ම ඇලී ගැලී එය ප‍්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව සිහින දැකීමයි. මේ පිරිස සඳහා අඩුවැඩි වශයෙන් මාර්ග තුනක් විවෘතව පැවතිණි.
(1)සෘජු සහ වක‍්‍ර ආකාරයෙන් රාජ්‍යය බලය සමඟ බැඳී එයින් තෘප්තියක් ලබමින් සිටින අතර ‘පොදු සතුරා’ වන ‘ප‍්‍රතිගාමී’ එක්සත් ජාතික පක්ෂය බලයට පත් වීම කෙසේ හෝ වැළැක්විය යුතුයැයි ප‍්‍රකාශ කරමින් මොන වැරදි කළත් ‘අපේ ආණ්ඩුව’ රැකීමට කටයුතු කිරීම.
(2) ආණ්ඩුවේ නායකයන් දැන් තමන් ගණන් නොගන්නා නිසාත්, ඉස්සර ආපු කණට වඩා පස්සේ ආපු අඟ ලොකු වීමේ න්‍යායයෙන් අළුත් මිතුරන් එයට ලැබී ඇති නිසාත් ආණ්ඩුව සමඟ තරහ වී ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජයග‍්‍රහණය කරවීම’ සඳහා එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දැක්වීම.
(3) දේශපාලනය යනු දුෂිත සෙල්ලමක් බවත්, එයට ගෑවී මඩ සහ කුණු තවරා ගන්නේ නැතිව නියම අපක්ෂපාතී නිර්පාක්ෂික, මධ්‍යස්ථ බුද්ධිමතුන් සහ ක‍්‍රියාකාරීන් වශයෙන් දෙපාර්ශ්වයටම බලපෑම් කළ යුතු බවටත් කියා සිටිමින් රාජ්‍ය නොවන සංවිධාන වල මුල්‍ය දායකත්වය සහිත ඊනියා සිවිල් සමාජයේ සාමාජිකයන් බවට පත්වීම.

ඉහත සඳහන් මාර්ග අතර ගමන් කළ විවිධ පිරිස් විටින් විට ඒ පැත්තෙන් මේ පැත්තටත්, තවද අනෙක් පැත්තටත් පැනීම සාමාන්‍ය තත්ත්වයකි.මේ සියළු දෙනාම අඩුවැඩි වශයෙන් එකඟවු කරුණු පහත පරිදි සම්පිණ්ඩනය කළ හැකිය.

1. වෙළෙඳපොළ ආර්ථිකය මත පදනම් වු ධනවාදී ආර්ථික ක‍්‍රමය එසේම පවත්වා ගෙන යන අතර, එයින් පීඩාවට පත් වී කැරලිකාරී තත්ත්වයකට පත්වන බලවේග සමනය කිරීම සඳහා දුෂණ, වංචා වලින් තොරව ක‍්‍රමය හොඳින් පවත්වා ගෙන ගොස් ක‍්‍රමයේ ප‍්‍රතිලාභ එම බලවේග වෙතද ගලා යාමට සැලැස්වීම.
2. ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රමිතීන්ට අනුකූල වන ලෙස දේශීය නීති සංශෝධනය කිරීම හා අළුතෙන් පනවන ලද හෝ පැරණි නීති එම ප‍්‍රමිතීන්ට අනුකූලදැයි සමාලෝචනය කිරීමට අධිකරණයට ඉඩ සැලසීම.
3. දෙමළ ජනතාවගේ ජාතික විමුක්ති අරගලය දිය කර හැරීම සඳහා එහි නායකත්වය දරන එල්.ටී.ටී.ඊ. සංවිධානය මිලිටරිමය වශයෙන් පරාජය කරන හෝ බෙලහීන කරන අතර, එක්සත් ලංකාවක් තුළ පළාත්වලට බලය බෙදා හැරීම සහ මධ්‍යම රජයේ බලය පළාත් සමඟ බෙදා හදා ගැනීම සඳහා වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම.

කෙසේ වුවද , 2001 වන විට රට දේශපාලන අර්බුදයක් කරා ගමන් කරමින් තිබිණි. මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් වලට පාර්ශ්වකරුවන් වීම සහ එම සම්මුතීන්හි අඩංගු අයිතිවාසිකම් වලින් සමහරක් දේශීය නීතිය තුළට අන්තර්ග‍්‍රහණය කිරීම හැරුණු විට වෙනත් සැලකිය යුතු ප‍්‍රතිසංස්කරණයක් ක‍්‍රියාත්මක කිරීමට රජය අසමත් විය. ආරම්භයේදී යුධ පෙරමුණෙහි ලබාගත් තීරණාත්මක ජයග‍්‍රහණ ආපසු හැරවුණු අතර, ආර්ථීක වෘද්ධිය සෘණ අගයක් දක්වා පල්ලම් බැස්සේය. දේශපාලන ක්ෂේත‍්‍රයේ ඇතිව තිබු සිරවීම ප‍්‍රයෝජනයට ගනිමින් රාජ්‍ය යන්ත‍්‍රයේ ප‍්‍රධාන ආයතන නිර්දේශපාලනකරණය කිරීම පිණිස සිවිල් සමාජය විසින් යෝජනා කරනු ලදුව විරුද්ධ පක්ෂය විසින් පිළිගන්නා ලද ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා 17 වන සංශෝධනය ආණ්ඩු පක්ෂයේ ද කැමැත්ත අකමැත්තෙන් ලබා ගනිමින් ඒකමතිකව සම්මත කරන ලද්දේ මේ අවස්ථාවේය.

2001 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් බලයට පැමිණියේය. නැවතත් සටන් විරාමයක් ඇති විය. සාම සාකච්ඡා ආරම්භ කරන ලදි. දේශපාලන බලය බෙදා හදා ගැනීම පිළිබඳ කිසිදු රාමුවක් ආණ්ඩුව පැත්තෙන් යෝජනා නොවී සටන් විරාමයක් හෙවත් වෙඩි තැබීම නැවැත්වීම (cease - fire) ‘සාමය’ ලෙස අර්ථකතනය විය. ඉතින් ඊට පස්සේ සියළු කැරලි නායකත්වයන් අවසන් වී, ප‍්‍රභාකරන් දමනය වී, ධනවාදී ආර්ථීක සංවිධානයේ සෙවණ යට ලංකාව සෞභාග්‍යයෙන් පිරී ඉතිරී යනු ඇතැයි ප‍්‍රාර්ථනා කරමින් ලොකු හා කුඩා ලිබරල්වාදීන් සියළුදෙනාම රාජ්‍යය ප‍්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියෙහි සාඩම්බර කොටස්කරුවන් බවට පත් වුහ. ඒ සඳහා විදේශීය ප‍්‍රදානක ආයතන වෙතින් යහමින් මුදල් ද ලැබිණි. ෆුකුයාමාගේ අනාවැකිය ලංකාව තුළ සාර්ථක වෙන ලකුණු පහළ විය. කිසිවක් බලාපොරොත්තු නොවු අයුරින් එල්.ටී.ටී.ඊ ය තම යෝජනාව ලෙස ඉදිරිපත් කළේ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ෆෙඩරල් විසඳුමක් නොව අන්තර්වාර ස්වයං පාලන අධිකාරියක් (ISGA)පිළිබඳ යෝජනාවකි. එය යුද්ධ කාලය තුළ එල්ල කළ බරපතලම ප‍්‍රහාරයටත් වඩා ප‍්‍රබල බව පසක් කරන සිදුවීමක් දින කිහිපයක් ඇතුළතදී සිදුවිය. මෙතෙක් බල රහිතව තිබු විධායක ජනාධිපතිධූරය යළි ක‍්‍රියාත්මක වී, හදිසි අවස්ථාව ප‍්‍රකාශයට පත් කොට ආණ්ඩුවේ ඇමති ධුර තුනක් පවරා ගන්නා ලදි. ආණ්ඩුව අස්ථාවර විය. 2004 පැවති හදිසි මහ මැතිවරණයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එකතු වී ගොඩ නැඟු එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට පත් විය.

එතැන් සිට සිදුවු දේ නැවත ලිවිය යුතු නැත. එහෙත් රාජ්‍යය ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා දශකයක් තුළ වෙහෙස වී ගොඩනැඟු පදනම් ඇස් ඉදිරිපිට බිඳ වැටෙද්දි අහක බලාගෙන සිටින්නට රාජ්‍යය ප‍්‍රතිසංස්කරණය සඳහා කටයුතු කළ ලිබරල් බුද්ධිමතුන්ට සහ සමාජ ක‍්‍රියාකාරිකයින්ට සිදු වී තිබේ. සමාජ ප‍්‍රතිසංස්කරණය පිළිබඳ සිය සංවාද අත් හිටුවා සියළුදෙනාම කිලිනොච්චිය දෙස බලා සිටින යුගයක් එළැඹ ඇත. දැන් ඉතිරිව ඇති සංවාදය මහ දැනමුත්තා සහ ගෝලයන්, එළුවා හා මුට්ටිය පිළිබඳව පැවැති සංවාදය වැන්නක් බවට ලඝු වී ඇත. එක් පිරිසක් කියා සිටින්නේ පළමුව එල්.ටී.ටී.ඊ.ය විනාශ කොට දෙවනුව දේශපාලන විසඳුමක් ගෙන ආ යුතු බව වන විට අනෙක් පිරිස එල්.ටී.ටී.ඊ.ය විනාශ කිරිම සාධාරණීයකරණය කිරීම සඳහා දේශපාලන විසඳුමක් ගෙන ආ යුතු යැයි කියති. එළුවාගේ බෙල්ල කැපිය යුතු බවට සියළු දෙනාම එකඟය. සාකච්ඡා ඇත්තේ මුට්ටිය පිළිබඳවය.

Back to Home