Wednesday, December 10, 2008


රෝසි සේනානායක
එක්සත් ජාතික පක්ෂ
බටහිර කොළඹ ආසන සංවිධායිකා

සාකච්ඡා කළේ- තාරා ශ‍්‍රී රාම්

රෝසි සේනානායක කියන්නේ කවුද කියලා ඇහුවොත් මේ අවස්ථාවේ ඔබව හඳූන්වා දෙන්නේ කොහොමද ?
මගෙන් ඒක අහනවට වඩා මාත් එක්ක වැඩ කරන අය හෝ දරුවන්ගෙන් ඇහුවොත් වඩාත්ම හොඳයි ඒක. කෙනෙක් කෙනෙක් ගැන තක්සේරුවක් කරද්දි ඒක කොයි විදිහට අර්ථකතනය වෙයිද කියලා දන්නේ නැහැ. නමුත් මගෙන් ඈත් වෙලා ස්වාධීනව කොයි වගේ කෙනෙක්ද කියලා කියනවා නම්, මම ගොඩක් මිනිස්සුන්ට ආදරය කරන, මිනිස්සු දිහා අපක්ෂපාතීව බලන, මිනිස්සුන්ගේ සෘණ පැත්තට වැඩිය මිනිස්සුන්ගේ ධනාත්මක පැත්ත බලන, මානව හිතවාදී ලෙස හිතන කෙනෙක් ලෙසයි මම දකින්නේ.

ඔබ රූ රැජිනක්. ඒ වගේම නිළියක්. ඇයි ඔබ දේශපාලනයට ආවේ................
මම නිළියක් කියන්නත් මම ලැජ්ජයි. මොකද මම චිත‍්‍රපට කර්මාන්තයට හෝ කලාවට ඒ ආකාරයේ සාධාරණත්වයක් ඉෂ්ට කරලා නැහැ. චිත‍්‍රපට දෙක තුනක රඟපෑ පමණින් නිළියක් කියලා කියන කොට මට හිතෙනවා මේ ක්ෂේත‍්‍රයට මුකුත් කරන්නේ නැතුව ඔය තනාන්තරය ලබා ගැනීම සුදුසුද කියලා. රූ රැජිණක් කියන එක ජීවිතයේ විවිධ භූමිකා තුළින් යද්දි එක්තරා මං සන්ධියකදී සිදුවුණ එක සිදුවීමක් විතරයි. අපි ඔය නිකම් ඉන්න කොට මොකක් හරි තරඟයකට ඉදිරිපත් වෙලා ජයග‍්‍රහණය කරනවා. ඒක එතනින් ඉවරයි. නමුත් රූ රැජිණ තරඟයකට ඉදිරිපත් වුනා කියලා රූ රැජිණක්-නිළියක් වූ පමණින් ඉන් එහා දේවල් ජීවිතයේ නොසිතිය යුතුයි කියන තැනක නෙමෙයි මම ඉන්නේ. මොකද කාන්තාව විවිධ භූමිකාවන් තුළින් ගමන් කරන කෙනෙක්. දියණියක්, බිරිඳක්, මවක්, සොහොයුරියක් විදිහට මේ භූමිකා තුළ ගමන් කරද්දි සමාජයේ විවිධ ක්ෂේත‍්‍රවල‍්‍ර කාන්තාවන්ටම සුවිශේෂී වු අංශ තුළින් ඉදිරියට එන්න පුළුවන්. ඉදිරියට යන්නත් පුළුවන්. අභියෝගවලට මුහුණ දෙන්නත් පුළුවන්. ඒවායින් ජයග‍්‍රහණය කරන්නත් පුළුවන්. ඒවා තුළින් අසාර්ථක වෙන්නත් පුළුවන්. නමුත් ඔය ප‍්‍රශ්නේ මගෙන් අහන්නේ ඇයි කියන එක මට ප‍්‍රශ්නයක්. නිළියකට කවදාවත් දේශපාලනය කරන්න බැරිද? ජයලලිතා අද දකූණු ඉන්දියාවේ සාර්ථක දේශපාලනඥවරියක්. අදටත් කතා බහට ලක්වෙන ඇමෙරිකාවේ ජනාධිපති වුණ රොනල්ඞ් රේගන්, ඔහු නළුවෙක්. ඒ වගේම සමහර රටවල සාර්ථක ලෙස දේශපාලනිකව ඉස්සරහට ගියේ පිරිමින්ටත් වඩා කාන්තාවන්.

රූ රැජිනක් පාරට බැහැලා සාමාජ ක‍්‍රියාකාරිනියක් විදිහට කෑ ගහන අවස්ථා ලංකාවේ අඩුයි. ඒ ගැන ඔබේ අදහස මොකක්ද ?
ඒක අද දුර්ලභ සිද්ධියක් වුණත් අද අප ජීවත් වන්නේ මායිම් නැති පුංචි විශ්ව ගම්මානයක. ඇත්තටම මුළු ලෝක සිතියමෙන් ලංකාව බැලූවොතින් ඒක පුංචි තිතක්. සමහර රටවල් ලංකාව කියලා එකක් තියෙනවාද, ඒ කොතනද කියලවත් දන්නේ නැහැ. අපි ලංකාව ලොකුම, ආඩම්බරම, උතුම්ම රටක් විදිහට හිතාගෙන ඉන්නේ. නමුත් මම කියන්න කැමතියි ලෝකේ වෙනත් රටවල මේ දේවල් සිදු වෙනවා. ඒ ක‍්‍රීඩා, කලා, අධ්‍යාපන, සංගීත ක්ෂේත‍්‍රයේ වෙන්න පුළුවන්. කලා ලොවේ නළුවෙක් හෝ රූ රැජිනක් නිසා මේක නොකළ යුතුයි කියලා තහංචියක් නැහැ. මොකද ඕනෑම මනුස්සයෙකුට ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්. මානව හිමිකම් වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්. තමා ඉතා ප‍්‍රබලව හිතන කරුණු-කාරණා, ප‍්‍රශ්ණ ගැන, අසාධාරණයන් ගැන තදින් ම දැනෙනවා නම් ඒ ගැන ඇප කැප වී වැඩ කරන්න ඕන නම් ඒක කලා ක්ෂේත‍්‍රයේ හිටියා කියලා නොකර සිටිය යුතු නැහැ. අවුරුදු විසිපහකට කලින් රූ රැජින තරඟයක් ජයග‍්‍රහණය කරලා මම ලංකාව ජාත්‍යන්තර තලයට ගෙනියන්න යම්කිසි තල්ලූවක් ලබා දුන්නා. ඒක එක සිදුවීමක් විතරයි. නමුත් මම ඔටුන්න පැළඳ ගෙන පැය විසිහතරම ගෙදර වටේ ඇවිද ඇවිද ඉන්නේ නැහැ. තමාගේ දේශයට තමාගේ ජනතාවට අසාධාරණයක් වෙනකොට යථාර්තය තේරුම් අරන් ඒ වෙනුවෙන් ශක්තිමත්ව නැඟී සිටින්න ඕන.

දේශපාලනයට සහ පොදු ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙන කාන්තාවන් දිහා සමාජයේ මිනිස්සු බලන්නේ උපහාසයෙන්. ඇතැම් විට ඔවුන්ගේ පෞද්ගලික ජිවිතයත් පටලවාගෙන අපහාස කිරීම ඔබ දකින්නේ කොහොමද
කාන්තාවන් පමණක් නෙවෙයි පොදුවේ ගත්තොත් අද පවතින හිරිකිත දේශපාලන ක්ෂේත‍්‍රයේ සිටින සෑම කෙනෙකුටම සිදුවෙන දෙයක් ඒක. මෙතනදි කාන්තාව සියුමැලි සංවේදී අය නිසා කාන්තාවකට පහර ගැසීම හරි පහසුයි. ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය තුළදී අපි නිතරම පිරිමින්ට දොස් කිව්වත් කාන්තාවන්ට එරෙහිව කාන්තාවන් විසින්මත් ගරහන අවස්ථාවන් තියෙනවා. නමුත් දේශපාලනය කරන කොට මේවා දැනගෙන මුහුණ දෙන්න පුළුවන් ශක්තියත් කාන්තාවන්ට තියෙන්න ඕන.

පවතින සමාජ රටාව වෙනස් කරන්න පුළුවන් බලවේගය කුමක් කියලද ඔබ විශ්වාස කරන්නේ..........
බහු ආගමික, බහු ජාතික රටක් වන අපේ රටේ තවමත් කුල භේදය ගැන හොයන සමාජ රටාවක් තියෙන්නේ. තව කෙනෙක්ට ගරු කිරීමට, සංවේදීව සිතීමට, තව කෙනෙක්ගේ ආගම, ජාතිය, සංස්කෘතියට, ජීවන රටාවට ගරු කිරීමට අවශ්‍ය මානසික තත්ත්වය සහ ආකල්පමය වෙනසක් ඇති කර ගන්නා තෙක් පවතින සමාජ රටාව වෙනස් කරන්න පහසු නැහැ. මේ රටේ අන්ත දුෂ්කර ප‍්‍රදේශවල ජීවත්වන මිනිස්සු ජීවිතේ පණ ගැට ගහගන්න සටන් කරන හැටි දැක්කාම 1948 අපි සැබෑ නිදහසක් ලැබුවාද කියා හිතෙනවා. වන සත්තු එක්ක, යුද්දෙ එක්ක ඔවුන් ගෙවන ජීවිතේ දැක්කාම urban කියන කොළඹ පරිසරයේ ජීවත් වන ජනතාව එය දන්නවා කියලා මම හිතන්නේ නැහැ. අපිට මාධ්‍ය විසින් කියන දේවල් දැකලා අපි සෑහීමකට පත් වෙනවා. මේ රට මේ පවතින තත්ත්වයෙන් ගොඩ ගන්න නම් අපි ඉස්සෙල්ලාම එක රටක්, එක ජාතියක් කියන හැඟීමකින් යුක්තව විශේෂයෙන්ම අපේ තියෙන ආකල්ප හා මානසිකත්වයන් වෙනස් කර ගන්න ඕන. මෙවැනි මානසිකත්වයක් නෙවෙයි මේ රට නිදහස ලබා ගන්න කොට ඒ වකවානුවේ ජීවත් වෙච්ච මගේ සීයලා, මුත්තලා, අත්තම්මලාට තිබුණේ. මුළු කලාපයම ඉරිසියාවෙන් බලපු රටක් එදා ශ‍්‍රී ලංකාව. අපි ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයෙන් ශක්තිමත් වෙච්ච, ඒක පුද්ගල ආදායම ජපානයත් එක්ක සංසන්දනය කරන විට එක ඩොලරයක වෙනසක් තිබ්බ, දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානය රටවල් වලට වන්දි ගෙවමින් යනවිට ඒ වන්දි ප‍්‍රතික්ෂේප කරපු සියලූ ජාතීන් එකට ජීවත් වෙච්ච රටක්. ඒ රට අද මෙතැනට ගේන්න ජනතාවගේ ආකල්ප වෙනස් කළේ කවුද? පටු දේශපාලන වාසි තකා බලය ලබා ගැනීමේ පරමාර්ථයෙන් පමණක් කටයුතු කරපු ඇතැම් දේශපාලඥයන් කියලා මම නිර්භයව කියනවා. අද වෙනකොටත් ලෝකයේ ඉහළම ස්ථාන වල ශ‍්‍රී ලාංකීක සම්භවයක් තියෙන පිරිස් ඉන්නවා. නමුත් අද මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබන දරුවෙකුට තමාගේ රටේ සංවර්ධනයට දායක වෙන්නත්, තමා සංවර්ධනය කරගැනීමටත් අවශ්‍ය පරිසරය අපි බිහි කරලා දීලා නැහැ. ඒක බිහිකර දීමේ පරමාර්ථය මත තමයි මම අද දේශපාලනයට ආවේ.

ඇයි එක්සත් ජාතික පක්ෂය ඔබේ දේශපාලනයට තෝරාගත්තේ. ඒක අහම්බයක්ද ?
හොඳ ප‍්‍රශ්ණයක් ඒක. නිදහස ලබපු දා පටන් අද වෙනකම් මේ රටේ සංවර්ධනමය පැත්තෙන් බැලූවත්, මානව හිතවාදී පැත්තෙන් බැලූවත් ජන ජීවිතය ස්වයංපෝෂිත කිරීමට කවුරු මොනවා කිව්වත් සියයට අසූවකට වැඩිය කටයුතු කරල තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය. අද අපේ රටට ජීවත් වෙන්න ආර්ථිකයක් ඉතුරු වෙලා තියෙනවා නම් අවංකවම කියන්න ඕන ඒ එක්සත් ජාතික පක්ෂය ස්ථාපිත කළ ආර්ථිකයක්. එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්ති මම විශ්වාස කරනවා. මම ඒවට ගරු කරනවා. හැම එකකටම නෙවෙයි. සමහරක් ඒවට මම හිස නමන්නේ නැති අවස්ථා තියෙනවා. නමුත් සම්ප‍්‍රදායක් විදිහට එක්සත් ජාතික පක්ෂය ගන්න තීන්දු තීරණ වලට මම එකඟ වෙනවා. ඉතිහාසය දිහා බැලූවහම එක්සත් ජාතික පක්ෂය තරම් ප‍්‍රබල පක්ෂයක්, රටට ජනතාවට සේවය කරපු පක්ෂයක් මට තවත් නම් කරන්න බැහැ.

සියලූම සමාජ ක‍්‍රියාකාරකම් වලින් පිටස්තරව බිරිඳක් විදිහට, මවක් විදිහට ඔබේ ඉස්මතු වීම පවුල තුළට කොහොමද බලපාන්නේ
නැහැ පවුල තුළ මම ඉස්මතුවෙලා නැහැ. මගේ ගෙදර ගෘහ මූලිකයා මගේ ස්වාමිපුරුෂයා. මම තාමත් ස්වාමි පුරුෂයාගෙන් යැපෙන, ඔහුගේ රැකවරණය, ආදරය, සහය ලබන කෙනෙක්. දේශපාලනය ඇතුලූව මම කරන සෑම කටයුත්තකටම ඔහුගේත්, දරුවන්ගේත් සහය මට ලැබෙනවා. අපි දෙන්නා අතර හොද අන්තර් විශ්වාසයක් තියෙනවා.

ලංකා දේශපාලනයේ ස්ත‍්‍රී නියෝජනය සියයට හතරක් තරම් අඩු ප‍්‍රතිශතයක් තියෙන්නේ. ඒකට හේතුව විදිහට ඔබ දකින්නේ මොකක්ද ?
මම හිතනවා ව්‍යවස්ථාවේ වෙනස් විය යුතු කරුණු රාශියක් තියෙනවා කියලා. එම වෙනස් කිරීමට තිබෙන අවශ්‍යතාව සම්බන්ධයෙන් කොයි මොහොතකවත් කතා කරන්නේ නැහැ. ඒ නැත්තේ පාර්ලිමේන්තුවේ බහුතරයක් පිරිමි නිසාද, ඔවුන් සංවේදීව කාන්තාවන්ගේ ප‍්‍රශ්න ගැන හිතත්නේ නැති නිසාද, නැත්නම් මේවා ප‍්‍රශ්න නෙවෙයි කියලා හිතන නිසාද කියලා හැගීමක් මට ආවා. ඒ එක්කම මම දේශපාලනයට ගොඩක් ලැදි කමක් දක්වන, කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන කෙනෙක් විදිහටත් ලංකා දේශපාලනයේ ස්ත‍්‍රී නියෝජනය ගැන සැළකිලිමත්. උදාහරණයක් විදිහට ගෘහස්ථ හිංසනය පිළිබඳ පනත් කෙටුම්පත පළමු වතාවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලාම මේක දික්කසාදයට ලයිසන් එකක් කියල එළියට දැම්මා. ඒ එළියට දැම්මේ අපේම සහෝදරයෝ. ඒ නිසා ව්‍යවස්ථාවේ අඩුපාඩුකම් මග හරින්න අනිවාර්‍යයෙන්ම කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුවේ තිබිය යුතුයි. අනෙක අපි හිතනවා බෙදුම් වාදයට හේතුව දේශපාලනඥයෝ කියලා. නමුත් රටේ බෙදුම් වාදයට කළින්, පාර්ලිමේන්තුවේ බෙදුම් වාදයට කළින් මේ බෙදීම ආරම්භ වෙන්නේ පවුලෙන්. පෝෂණය වැඩියෙන් අවශ්‍ය දියණියට නොදී පුතාට මාළු කෑල්ලක් දෙන පවුලේ භූමිකාවෙන්.

සාමාන්‍යයෙන් ලංකාවේ කාන්තාවන්ගේ ජීවිතයේ ප‍්‍රමුඛතාව ලැබිලා තියෙන්නේ පවුල තුළට. ඇය සමාජයේ කටයුතු කරන පරිමාණය අඩුයි. එහෙම නැත්නම් බාහිර සහ අභ්‍යන්තරිකව සැමියාගේ සමාජ කටයුතු වලට දෙන සහයෝගය අඩුයි. ඒ ගැන ඔබේ අදහස මොකක්ද ?
මම ඒකට ඔබත් එක්ක එකඟ වෙන්නේ නැහැ. අද කාන්තාවගේ භූමිකාව ගැන කතා කරන කොට කාන්තාව මවක්, භාර්‍යාවක් විතරක් නෙවෙයි පවුල රැකගන්නත් දැඩි වෙහෙසක් දරනවා. මම දකින විදිහට වර්තමාන සමාජයේ කාන්තාවගේ මවක් කියන භූමිකාව ඉතා පුළුල් වෙලා තියෙනවා. ඒ නිසාම ඇයට විශාල කාර්යයන් ප‍්‍රමාණයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. අඟලූම් කර්මාන්තයේ වැඩ කරන කාන්තාවෝ, විදේශගත වෙලා අපේ රටට සල්ලි එවන කාන්තාවෝ සහ තවත් නොයෙක් ක්ෂේත‍්‍රවල කටයුතු කරන කාන්තාවෝ රාශියක් මත තමයි අපේ රටේ ආර්ථිකය පවා අද රදාපවතින්නේ. අද මම සැබෑ රණවිරුවෝ ලෙස දකින්නේ ඔවුන්වයි.

පසුගිය දා නිමාවට පත් වූ ඇමෙරිකා ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ උප ජනාධිපති අපේක්ෂිකාව සේරා පේලින් කියන්නේත් ආකර්ශණීය කාන්තාවක්. නමුත් සමාජ ජීවිතයේදී ඉතා පසුගාමී අන්තවාදී අදහස් දරණ ඇගේ භූමිකාව ඔබ දකින්නේ කොහොමද ?
සේරා පේලීන් ආකර්ශණීය කාන්තාවක් කියන එක ඇත්ත. නමුත් ඇය එතනට පැමිණියේ ආකර්ශනීය භාවය නිසා නෙවෙයි. මම දකින්නේ ඇගේ පරාජයට හේතුව ඇගේ දේශපාලන නොදැනුවත් කම නෙවෙයි අත්දැකීම් අඩුකමයි. ඇත්තටම තරඟය තිබුනේ සේරා පේලින් අතර නෙවෙයි ඔබාමයි, මැකේනුයි අතර. සේරා පේලීන් නිසා පහළ හිටපු මැකෙන්ගෙත් ජනප‍්‍රියතාවය වැඩි වුනා.

අද දේශපාලනයට විවියන් ගුණවර්ධන වැනි කාන්තාවන්ගේ පැමිණීම විරලයි. සමාජයේ යම් ක්ෂේත‍්‍රයකින් ඉස්මතු වුණ කාන්තාවන් තමයි දේශපාලනයට පිවිසෙන්නේ. ඇයි ඒ ?
විවියන් ගුණවර්ධනගේ කාලයේ මෙරට හිටපු දේශපාලඥයින් මහත්මා ගති තිබුන අය. ඔවුන්ගෙන් ඇය වැනි කාන්තාවන්ට දේශපාලනයේ යෙදෙන්න හොද සහයෝගයක් ලැබුණා. අදත් එවැනි කාන්තාවන් නැත්තේ නැහැ ඉන්නවා. නමුත් ඔවුන්ගේ හඩ නවත්තන්න, නැගිටින්න නොදෙන පිරිස වැඩියි. අද ඉන්න දෙශපාලනඥයින් දිහා බැලූවම ප‍්‍රතිපත්ති නැති, ඕනෑම ජඩ වැඩක් කරල හරි මට බලය ලබා ගන්න, රැදී ඉන්න පුළුවන් නම් කියන මතයේ රැදිච්ච දේශපාලන සංස්කෘතියක් බිහිවෙලා තියෙන්නේ. අනෙක අද තියෙන මැතිවරණ ක‍්‍රමය නිසා ඔවුන්ට ඉදිරියට එන්න තියෙන අවකාශ අහුරලා.

කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඔබ දරණ මතය කුමක්ද ?
ලංකාවේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් මම දකින්නේ ඉතාම ශෝචනීය තත්වයක් ලෙස. අපි කොතෙක් කිවුවත් මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් කියලා. කාන්තාවන් ඉදිරියෙන් ඉන්නවා කියලා, පළමු අගමැතිනිය අපි බිහි කළා කියලා ශෝචනීය ලෙස කිව යුතු දෙයක් තියෙනවා අද කාන්තාවකට ගෞරවනීය ලෙස පාරේ බැහැල යන්න බැරි තත්වයක් ඇති වෙලා තියෙනවා.

දේශපාලනික වශයෙන් ඔබේ ඉදිරි එළැඹුම මොකක්ද ?
මුලින්ම මට විශාල උවමනාවක් තියෙනවා අපේ පක්ෂය හරහා හෝ කවදා හරි පාර්ලිමේන්තුවට ගිහිල්ලා ව්‍යවස්ථාවේ සංශෝධනය විය යුතු බොහෝ කරුණු කාරණා වෙනස් කරන්න. ඉන් එකක් පංගු ක‍්‍රමයට අනුව කාන්තා නියෝජනය ඇති කිරීම. අවම වශයෙන් සියයට විස්සක් හෝ කියන තැනට ගෙන ඒම. සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු සියළුම ක්ෂේත‍්‍රවලින් රටේ ආකල්පමය වෙනසක් ඇති කිරීම.

මානව හිමිකම් සම්බන්ධයෙන් ඔබේ දැක්ම මොකක්ද ?
ලංකාව ගැන කතාකරනව නම් මානව හිමිකම් නැත්තටම නැති තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඒක පටන් ගන්නේ ගෙදරින්. සමස්ථ සමාජයේම මානව හිමිකම් උල්ලංඝණය වෙන පරිසරයක් තියෙන්නේ. දේශපාලඥයෙක්ගේ පරම යුතුකම කෙනෙකුගේ මානව හිමිකම් ගැන ප‍්‍රථමයෙන් සලකා බැලීම. කෙනෙකුට ගරුත්වයෙන් යුතුව ජීවත් වීමට ඉඩ සැලසීම. ඒක ඒ ආකාරයෙන් සිදුවෙනවා කියන එක මට නම් ශ‍්‍රී ලාංකික කාන්තාවක් හැටියට කියන්න බැහැ.

Back to Home

No comments: