අවුරුදු එකහමාරක් යනතුරු පුද්ගලයෙකු පොලිස් අත් අඩංගුවේ රඳවා තබා ගැනීමට විධායකයට අවසර ලැබෙන සේ හදිසි අවස්ථා රෙගුලාසි සඳහා ගෙන ආ සංශෝධනයක් ක‍්‍රියාත්මක කිරීම අත් හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දෙසැම්බර් 15 දා තීරණය කළේය.
අග‍්‍ර විනිශ්චයකාර සරත්. එන්. සිල්වා, කේ. ශ‍්‍රී පවන් සහ පී.ඒ. රත්නායක යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර මණ්ඩලය විසින් මෙම අත් හිටුවීම කරන ලද්දේ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කරන ලද මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලන ලද අවස්ථාවේදීය.
මිනිසෙකු අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම යනු ඒ මිනිසාගේ නිදහස සීමා කිරීමකි. නමුත්, සෙසු පුද්ගලයන්ගේද සමස්ත සමාජයේද යහපත පිණිස මිනිසෙකුගේ නිදහස සීමා කිරීමට රාජ්‍යයට ඉඩක් ලැබී තිබේ.
නමුත්, රාජ්‍යයේ එම බලයට සීමාවක් ඇත. සීමාව පනවන්නේ මානව අයිතිවාසිකම් මඟිනි. එනම්, පුද්ගලයකුගේ නිදහස සීමා කොට අත් අඩංගුවට ගැනීමට සහ රඳවා ගැනීමට රාජ්‍යයට හැකි වන්නේ නීතියෙන් නියම කොට ඇති ආකාරය අනුවය. එසේ නැත්නම් එය මානව අයිතිවාසිකම් කඩ කිරීමක් වේ.
උදාහරණයක් වශයෙන් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ‘සැකපිට’ පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයෙකු පිළිබඳව පරිකල්පනය කරමු. පොලීසියට ඔහු රඳවා තබාගත හැක්කේ නීතියෙන් නියම කොට ඇති කාලයක් තුළ පමණකි. අපරාධ නඩු විධාන සංග‍්‍රහයෙහි නියම කොට ඇති පරිදි ඒ කාලය උපරිම වශයෙන් පැය විසිහතරකි. එම කාලය තුළ අදාළ සැකකරු නිසි බලය ඇති අධිකරණය හෙවත් මහේස්ත‍්‍රාත් අධිකරණය එම පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කරයි. එනම් පොලිස් අත් අත්ඩංගුවෙන් පිස්කල් අත් අඩංගුවට හෙවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පාලනයට භාර දෙයි.
නමුත්, අදාළ පුද්ගලයා අත් අඩංගුවට ගන්නා ලද්දේ අපරාධ නීතිය අනුව නොව හදිසි නීතියට හෙවත් හදිසි අවස්ථා රෙගුලාසිවලට අනුකූලව නම්, තත්ත්වය වෙනස් වෙයි.
විවිධ අවස්ථාවන්හි විවිධාකාර හදිසි අවස්ථා රෙගුලාසි ජනාධිපතිවරයා විසින් සාදන ලද්දේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් සාදන ලද 2005 අගෝස්තු මස සිට ක‍්‍රියාත්මක වු 2005 අංක 01 දරණ හදිසි අවස්ථා රෙගුලාසි යටතේද පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීමට බලතල පවරන ලද්දේය. ඒ අනුව කිසියම් පුද්ගලයෙකු අවුරුද්දක් දක්වා කාලයක් සඳහා රඳවා තබා ගැනීමට නියෝග නිකුත් කිරීමේ බලයක් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට පැවරුණි.
එම රෙගුලාසියේ මෙසේ කියැවේ.
”අංක 19 දරණ රෙගුලාසිය අනුව රඳවා තබා ගනු ලබන ඕනෑම තැනැත්තෙක් පොලිස්පතිවරයා විසින් නියම කරනු ලබන ස්ථානයක එසේ රඳවා ගත හැක්කේ අත් අඩංගුවට ගනු ලැබු දිනයේ සිට දින අනූවක කාලයක් සඳහා පමණි. එම කාලය ගතවීමට පෙර එක්කෝ එම පුද්ගලයා නිදහස් කළ යුතුය; නැත්නම් මහේස්ත‍්‍රාත්වරයෙකු ඉදිරියට පැමිණවීමෙන් පසු එකී මහේස්ත‍්‍රාත්වරයා විසින් එම පුද්ගලයා බන්ධනාගාරයක රඳවා තැබිය යුතුය.
ඒ අනුව, සාමාන්‍ය නීතිය යටතේ පැය විසිහතරක් ඇතුළත මහේස්ත‍්‍රාත්වරයෙකු ඉදිරියට පමුණුවනු ලැබීමට සැකකරුවෙකුට තිබෙන අයිතිවාසිකම හදිසි අවස්ථා රෙගුලාසි යටතේ අත් අඩංගුවට පත් වු සැකකරුවෙකුට ලැබෙන්නේ දින අනූවක් එනම්, පැය දෙදාස් එකසිය හැටකට පසුය. පැය විසිහතර තුළදී ද ලංකාවේ සැකකරුවන් විශාල වශයෙන් වධහිංසාවලට ලක්වන තත්ත්වයක් තුළ දින අනූවක් පොලිස් අත් අඩංගුවේ පසුවීමට ඉඩ සැලසීම යනු වධහිංසාවට ලයිසන් දීමක් වැනිය.
කෙසේ වුවත්, ජනාධිපතිවරයා කල්පනා කළේ පොලීසිය භාරේ සැකකරුවෙකු රඳවා ගැනීමේ කාලය වසර එක හමාරක් හෙවත් මාස දහඅටක් (පැය 18,960ක්) දක්වා සය ගුණයකින් දීර්ඝ කිරීමටය. ඒ අනුව ඔහු හදිසි අවස්ථා රෙගුලාසිවලට සංශෝධනයක් ඉදිරිපත් කරන ලදි. විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලද්දේ මෙම අවස්ථාවේදීය.
ඔවුන් විසින් තර්ක කරන ලද්දේ මෙම සංශෝධනය මඟින් සලසා ඇති විධිවිධාන හේතුවෙන් ලංකාවේ ජීවත්වන සියලූ මනුෂ්‍යයන්ගේ පුද්ගල නිදහසට හානිකර බලපෑමක් ඇතිවන බවය. එයට හේතුව එමඟින් දේශීය සහ ජාත්‍යන්තර නීති මඟින් පුද්ගල නිදහස සහතික කිරීමට ගන්නා වු මුලික සහතිකයන් එමඟින් සීමා වීමය.
Back to Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment