Monday, January 12, 2009

කොමිසම කටයුතු කරන්නේ විෂය පථයට අදාළව පමණයි


නීතීඥ නිමල් පුංචිහේවා
මානව හිමිකම් කොමිසම් සභාවේ අතිරේක ලේකම්

මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළ හැක්කේ කාටද?
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් කඩවෙලා කියලා හිතෙනවා නම් ඕනම කෙනෙකුට මානව හිමිකම් කොමිසටමට පැමිණිලි කිරීමේ හැකියාව තියෙනවා.

ඒ කොපමණ කාලයක් ඇතුළතද?
උල්ලංඝනය සිදුවෙලා මාස තුනක් ඇතුළත කොමිසමට පැමිණිලි කල යුතුයි. එය වධහිංසා සම්බන්ධයෙන් බලපාන්නේ නැහැ.

පැමිණිල්ලක් ලැබුණු පසු කොමිසම ඒ වෙනුවෙන් ගන්නා පියවර මොනවාද?
පැමිණිල්ල විභාග කිරීම සහ විමර්ශන කටයුතු කිරීම අදාළ නිළධාරීන්ට පවරා එමගින් නිර්දේශ නිකුත් කිරීම.

මානව හිමිකම් කොමිසම නිකුත් කරන නිර්දේශ එම අදාළ ආයතන ක‍්‍රියාත්මක නොකරන අවස්තා තිබෙනවාද ?
සියයට විස්සක් පමණ එවැනි අවස්තා තිබෙනවා. ප‍්‍රධාන වශයෙන් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ ආයතන තමයි දැනට එවැනි නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමේ දුර්වලතාවක් පෙන්නුම් කරන්නේ.
බරපතල මානව හිමිකම් කඩවීම් සම්බන්ධව මීට පෙර විමර්ශන කටයුතු සිදුවූ අවස්ථා වල කොමිසම අගතියට පත් පාර්ශ්වයන් වෙනුවෙන් සිය නීතීඥයින් යෙදවූවා. නමුත් දැනට සිදුවෙන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන වලදී අගතියට පත් පාර්ශ්වයන් වෙනුවෙන් කොමිසම එවැනි සහනයක් ලබා දුන්නේ නැහැ.
යම්කිසි විශේෂ සිදුවීමක් සම්බන්ධයෙන් කොමිසම එවැනි ඉදිරිපත් වීම් සිදුකරනවා. දැනුත් කොමිසම එවැනි සමහර සිදුවීම් වෙනුවෙන් පරීක්ෂණ සිදුකරන අවස්තා තිබෙනවා. ත‍්‍රිකුණාමලයේ ඝාතනය වූ දාහත්දෙනාගේ සිදුවීම සම්බන්ධයෙන් අපි මූලික පරීක්ෂණය සිදුකර ජනාධිපති කොමිසමට වාර්තාවක් ඉදිරිපත් කළා. නමුත් අපේ විෂය පථයෙන් එහාට ගිය පුද්ගල සිද්ධි සම්බන්ධයෙන් ඒ වෙනුවෙන් කටයුතු කරන කොමිසම් සභාවලට පැවරී ඇති බල තල අනුව අපි ඒ කාර්ය පවරනවා.

කොමිසම් සභාවේ ප‍්‍රධාන කාර්ය භාරය කුමක්ද
ප‍්‍රධාන කාර්ය භාරයන් තුනක් තියෙනවා. එක රට තුළ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. දෙක අයිතිවාසිකම් ප‍්‍රවර්ධනය කිරීම. තුන මානව හිමිකම් පිළිබඳ ප‍්‍රජාව දැනුවත් කිරීම.

කොමිසමට නිළධාරීන් පත්කිරීම, කොමිසමේ ස්වාධීනතාව, වාර්ෂික වාර්තා නිකුත් නොකිරීම, ආපදා අවස්තාවල කි‍්‍රයාත්මක නොවීම, සිවිල් සංවිධාන සමඟ සබඳතා බිඳ වැටීම යන ජාත්‍යන්තර නිර්ණායකයන් සලකා බලා මානව හිමිකම් කොමිසම ඒ ශ්‍රේණියේ සිට බී ශ්‍රේණිය දක්වා පහත හෙලූවා. ඒ වෙනුවෙන් කොමිසම ගෙන ඇති පියවර මොනවාද?
ඒ සඳහා බලපෑවේ ඉන් හේතු තුනක් පමණයි. එක ඔබ සඳහන් කළ කොමසාරිස්වරුන් පත් කරන ආකාරය. දෙක වාර්ෂික වාර්තා නිකුත් නොකිරීම. තුන එක්දාස් නවසිය අසූගණන් වල අතුරුදහන් වීම් සම්බන්ධව තිබු පුද්ගලයන් දෙදාහකගේ පරීක්ෂණ කටයුතු අවසන් කර නොතිබීම. සිවිල් සංවිධාන සමඟ සබඳතා බිඳ වැටීම කියන කාරණය එහිදී ඔවුන් සඳහන් කළේ නැහැ.

එතකොට කොමිසම සිවිල් සංවිධාන සමඟ පැවැත්වු සබඳතා බිඳ වැටීම කියන කාරණය බී ශ්‍රේණිගත කිරීමට බලපෑවේ නැහැ කියලද ඔබ කියන්නේ ?
එම කාරණය ඔවුන් සඳහන් කරලා තිබුණේ නැහැ.

බී ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් කොමිසම් සභාවේ ස්ථාවරය මොකක්ද?
මෙහි පත් කිරීම් සම්බන්ධයෙන් කොමිසම් සභාවේ කාර්ය මණ්ඩලයට වගකීමක් දරන්න බැහැ. ජනාධිපතිතුමා අදාළ පත්වීම් සිදුකලා. කොමිසම ක‍්‍රියාත්මක වුණා. එහි නීතිමය භාවය ගැන අධිකරණයටත් ගියා. නමුත් අධිකරණයත් ඒ ගැන ප‍්‍රශ්න කරන්න බැහැ කියලා දන්වලා තියෙනවා. එම කාරණය නීතිය හා ව්‍යවස්ථාව සම්බන්ධ ගැටළුත් එක්ක බැඳිලා තියෙනවා. වාර්තා නිකුත් නොකිරීම සම්බන්ධයෙන් කියනවා නම් බී ශ්‍රේණිගත කරනකොටත් අපි වාර්තා සකස් කරලා අවසන් වෙලා භාෂා තුනෙන්ම පරිවර්ථන කටයුතු සිදුකෙරෙමින් තිබුණේ. තුන්වන කාරණය ගැන කිව්වොත් ඔවුන් කියන පුද්ගලයන් දෙදාස් ගණනකගේ අතුරුදහන් වීම් එක්දාස් නවසිය අසූගණන් වල සිදුවූ ඒවා. ඒ වන විටත් ඒවා ගැන සොයා බලා පරීක්ෂණ වාර්තාවක් නිකුත් කරලයි තිබුණේ. ඒ නිසා කොමිසම විශ්වාස කරනවා ඉදිරියේදී මේ තත්ත්වයේ වෙනසක් වෙයි කියලා.

නමුත් පසුගියදා ඒෂියා ෆැසිපික් ෆෝරම් එකේදී මානව හිමිකම් කොමිසම සිවිල් සංවිධාන සමඟ පවත්වන සබඳතා බිඳ වැටී ඇති බව පැහැදිලිව කියවුණා.
සිවිල් සංවිධාන සමඟ සහ සම්බන්ධයක් පැවැත්වීම කොමිසමේ වගකීමක්. කොමිසම සමඟ කටයුතු කිරීමට එක්වෙන්න කියලා සිවිල් සංවිධාන වලට අපි ආරාධනා කළත් පසුගිය කාලයේ කොමිසමේ පත් කිරීම් නිවැරදි නැහැ කියා ඔවුන් දරපු ස්ථාවරය නිසා බොහෝ සිවිල් සංවිධාන කොමිසමේ කටයුතු වලින් ඉවත් වුණා.

ලංකාවේ වර්තමාන මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් වාර්ථාවක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී මැතකදී කොමිසම සිවිල් සංවිධානයකට ප‍්‍රකාශ කර තිබුණා ‘ඔයාලා අපිව විවේචනය කරන නිසා අපි ඔයාලට වාර්තා ලබා දේන්නේ නැහැ’ කියලා. විවේචනය කළ යුතු කාරණා එසේ නොකර සැඟවීමද කොමිසම සිවිල් සංවිධාන වලින් අපේක්ෂා කරන්නේ?
ඔය කියන කාරණය නිවැරදිද කියලා පුද්ගලිකව මම දන්නේ නැහැ. කොමිසම හැටියට එවැනි ප‍්‍රකාශයක් කරා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් සමහර විට යම් කොමසාරිස්වරයෙක් තමන්ගේ පුද්ගලික අදහසක් එසේ ප‍්‍රකාශ කළා වෙන්න පුළුවන්.

මානව හිමිකම් කඩකිරීමක් හෝ වෙනයම් තොරතුරක් ලබා ගැනීමට සිවිල් සංවිධාන වලට අයිතියක් තිබෙනවාද?
ඔව්. සමහර තොරතුරු හෙළිදරව් කිරීමේ ගැටළුවක් නැහැ. නමුත් ඇතැම් තොරතුරු අප හෙළි කරන්නේ සංඛ්‍යාත්මකව පමණයි. ඒ රහස්‍ය භාවය ආරක්ෂා කළ යුතු නිසා.

කොමිසම සිවිල් සංවිධානවල සහයෝගය බලාපොරොත්තු වනවාද?
කොමිසම සිවිල් සංවිධානවල සහයෝගය බලාපොරොත්තු වෙනවද, නැත්ද කියන ගැටළුව පැන නගින්නේ නැහැ. අපට නියමිත කාර්ය භාරය තුළ ඔවුන් සමඟ අප කටයුතු කළ යුතුයි. නමුත් මෑත කාලයේ ඉස්සර තරම් ඔවුන් කොමිසම සමඟ සමීප වුණේ නැහැ. සිවිල් සංවිධාන ගැන මට විවේචනයක් තියෙනවා. ඉස්සර සිවිල් සංවිධාන විවිධ ගැහැට වලට මුහුණ දෙමිනුයි සමාජය තුළ මිනිස්සු සංවිධානය කරගෙන මානව හිමිකම් කඩවීම් වලට එරෙහි වුණේ. දැන් බොහෝ සිවිල් සංවිධාන ඉතා පහසුවෙන් කටයුතු කරන තත්ත්වයකට පත්වෙලා. පත්තරේකට ලියුමක් ලියලා, ජීනීවා කමිටුවට වාර්තාවක් යවලා. මාධ්‍යට ප‍්‍රකාශයක් කරලා පැත්තකට වෙනවා. වෙන කාට හරි කොන්තරාත් දීලා තමන්ගෙන් කෙරෙන්න ඕන සමාජමය වගකීම පැහැර හැරලා ගෙදර ගිහින් නිදා ගන්නවා. සිවිල් සංවිධාන වල ගුනාත්මක පිරිහීමක් තියෙනවා. ඔවුන් කොමිසම විවේචන කළ යුතුයි. නමුත් ඒ විවේචන සාධනීය විය යුතුයි. ප‍්‍රතික්ෂේප කිරීම නොවෙයි කළ යුත්තේ. මානව හිමිකම් කොමිසම වැනි ආයතන පිහිටුවලා තියෙන්නේ විශාල කාලයක් තිස්සේ බොහෝ කැපවීම්, අරගල කරලා. එහි කටයුතු විවේචනය කර ඒවා නිවැරදි කරගන්න උත්සාහ නොකර ප‍්‍රතික්ෂේප කරනවා නම් එහිදී සිවිල් සංවිධාන තමන්ගේ වගකීම හරියට ඉටු කරනවාද කියලා ගැටළුවක් පැන නගිනවා.

කොමිසමට පත් කරන නිළධාරීන් ස්වාධීනව තම රාජකාරිය කරන්නේ නැහැ කියලා බරපතල චෝදනාවක් නැගෙනවා
අපි කොහොමද එහෙම කියන්නේ. යම් කිසි සිද්ධියකදි යම් නිළධාරියෙක් එහෙම ක‍්‍රියා කළා කියනවා නම් අපිට පුළුවන් ඒ ගැන පරීක්ෂණ කරලා ඇත්ත සොයාගන්න. නිළධාරීන් ස්වාධීන නැහැ කියන එක සමාජයේ ඇති වෙලා තියෙන මතයක් විතරයි. ඒ අය ස්වාධීනද නැත්ද කියන එක අප යම් යම් ක‍්‍රියාකාරකම් ඔස්සේ උරගා බලන්න ඕන.

කොමිසමට ක‍්‍රියාත්මක වෙන්න තියෙන බාධා මොනවාද?
ක‍්‍රියාකාරීත්වය අතින් බාධා දෙකක් තියෙනවා. එක බාධාවක් තමයි ප‍්‍රමාණවත් මූල්‍යමය ප‍්‍රතිපාදන නොමැතිවීම අනෙක් බාධාව කොමිසමේ නිර්දේශයන් ක‍්‍රියාත්මක කිරීම බලාත්මක කිරීමට ප‍්‍රතිපාදන නොමැතිවීම.

කොමිසමේ නිළධාරීන්ට ස්වාධීනව කටයුතු කිරීමට ඇති වූ බාධාවක් ලෙස පසුගිය දිනෙක මානව හිමිකම් කොමිසමේ අභ්‍යන්තර අවතැන් වුවන්ගේ ව්‍යාපෘති කළමණාකරු සේනක දිසානායකට වවුනියාවේ මැණික් ෆාම් කියන අවතැන් කඳවුරට ඇතුල් වීමට ඉඩ නොදීම දක්වන්න පුළුවන්
ඔය සිද්ධිය වාර්තා වෙලා තිබුණේ නැහැ. ඔබ කියනකොටයි මම දන්නේ. ඔහු කොමිසමේ කොමසාරිස්වරුන්ට වාර්තා කරලා ඒ වෙනුවෙන් පියවර ගෙන ගැටළුව විසදා ගත්තද කියලා මම දන්නේ නැහැ. ඇත්තටම එහෙම බාධාවක් සිදු වුණා නම් ඒක බරපතල තත්වයක්. එය අපි නිරාකරණය කර ගත යුතුව තිබුණා. නමුත් මම පුද්ගලිකව ඒ සිද්ධිය ගැන දැන ගෙන හිටියේ නැහැ.

සන්නද්ධ ගැටුමක් පවතින අවස්තාවකදී මානව හිමිකම් කොමිසමට විශාල කාර්ය භාරයක් පැවරෙනවා. එහිදී කොමිසම කටයුතු කරන්නේ කොහොමද?
මෙවැනි අවස්තාවලදී අපේ කාර්ය භාරය ඉතා සියුම් සහ බරපතල ස්වභාවයක් ගන්නවා. අපි යුද්ධයට කැමති හෝ අකමැති වුණ ත් යුද්ධයකදී මිනිසුන්ගේ අයිතිවාසිකම් කඩවීම් වැඩියි. මේ නිසා සෑම අතකින්ම අපට පැවරෙන කාර්ය භාරය විශාලයි.

කොමිසමේ වර්තමාන කාර්ය භාරය ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද?
යම් ප‍්‍රමාණවත් වැඩ කොටසක් කරන බව මම විශ්වාස කරනවා. නමුත් ඊට වඩා වැඩ කොටසක් කළ හැකියි සහ කළ යුතුයි කියන ස්ථාවරයේ මම ඉන්නවා.

අධිකරණය සහ විධායකය අතර උද්ගත වෙලා තියෙන ගැටළුව සම්බන්ධයෙන් පුරවැසියන්ගේ පාර්ශ්වයෙන් කොමිසම මැදිහත් වෙනවාද ?
රටේ පවතින යුධමය තත්ත්වය නිසා කොමිසමේ එවැනි මැදිහත් වීම් වලින් වෙනත් ගැටලූ රාශියක් ඇති වෙනවා නම් ඒ ගැන අපි දෙවරක් සිතිය යුතුයි. ඒ නිසා කොමිසම කටයුතු කරන්නේ එහි විෂය පථයට අදාළව පමණයි.

ලංකාවේ මානව හිමිකම් තත්ත්වය වර්ධනය කිරීමට කොමිසමේ පාර්ශ්වයෙන් ගත හැකි පියවර මොනවාද?
මූලිකම දේ කොමිසමේ නිර්දේශ, තීරණ බලාත්මක කිරිම. නමුත් එය සිදුකළ හැක්කේ කොමිසමට නොවෙයි සිවිල් සංවිධාන වලට. ඔවුන් ඒ වෙනුවෙන් කොමිසම සමග එක්වී යම් ක‍්‍රියාකාරීත්වයක් ගෙන යා යුතුයි.

ඔබ ආරාධනා කරනවාද සිවිල් සංවිධාන වලට කොමිසම සමඟ එකතුවෙලා සහයෝගයෙන් කටයුතු කරන්න එන්න කියලා.
ඔව්. මම ආරාධනා කරනවා සිවිල් සංවිධාන වලට අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒ සඳහා විවෘත ඉඩක් තියෙනවා.

No comments: