Thursday, January 15, 2009

මහජන මුදලින් නඩත්තු වෙන ආයතන ගැන දැනගන්න සිවිල් සමාජයට අයිතියක් තියෙනවා.

රාජ්‍ය නොවන සංවිධානයන්හි ක‍්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂා කිරීමේ පාර්ලිමේන්තු තේරීම් කමිටුව 2008 දෙසැම්බර් 08 වැනිදා සිය අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහ. එහිදී ඳුෂණයට එරෙහිව ක‍්‍රියාත්මක වන ප‍්‍රධානතම ජාත්‍යන්තර සංවිධානයක් වන ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයේ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කමිටු අතුරු වාර්තාවේ සඳහන් කරුණු අගතිගාමී බව කියමින් එම ආයතනය පසුගිය ජනවාරි 05 වැනිදා පිළිතුරු වාර්තාවක් නිකුත් කළා.
එයට අනුව,
ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා යනු රාජ්‍ය සහ පෞද්ගලික අංශය, ආධාර සපයන්නන් සහ අනෙකුත් ගෝලීය කණ්ඩායම්වල ආකල්ප වෙනස් කිරීමේ අරමුණින් විවිධ මට්ටමේ ඳුෂණ විරෝධී ක‍්‍රියාකාරකම්වල නිරතවන ජාත්‍යන්තර සංවිධාන සමූහයේ මෙරට ක‍්‍රියාත්මක නියෝජිත ආයතනයයි.

2001 වසරේ එම ආයතනය දකුණු ආසියාවේ අනෙකුත් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතන හා එක්ව කරන ලද මහජන මත විමසුමට අනුව දකුණු ආසියා කලාපයේ රටවල දුෂිතම ආයතනය පොලීසිය බව අනාවරණය විය.

එම නිසා ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය රාජ්‍ය සහ සිවිල් යන දෙඅංශයේම සහභාගීත්වය ඇතුව පොලිස් මහජන සම්බන්ධතාව නැංවීමටත්, පොලීසියේ අවංකභාවය වර්ධනයටත් පොලිස් ව්‍යාපෘතියක් දියත් කළහ. එය ශ‍්‍රී ලංකා පොලීසිය සම්බන්ධයෙන් සිදු කරන ලද එබඳු පළමු ව්‍යාපෘතියයි. මහජන මුදලින් නඩත්තු වන ජනතා ආයතනයක් වන පොලීසියේ ඳුෂණ වැළැක්වීමට හැකි සෑම පියවරක්ම ගැනීම පොලිස් නිලධාරීන්ගේ මෙන්ම මහජනතාවගේද වගකීමක් යන්න පිළිගනිමින් ආරම්භ වූ මෙම ව්‍යාපෘතියට එවකට තිබු ජාතික පොලිස් කොමිසම සහ පොලිස්පතිතුමාගේ ද ධනාත්මක ප‍්‍රතිචාරයක් ලැබුණි.

කරුණු එසේ වුවද 2008 දෙසැම්බර් 08 වැනිදා රාජ්‍ය නොවන සංවිධානයන් පිළිබඳ පරීක්ෂා කිරීමේ පාර්ලිමේන්තු තේරීම් කමිටුව සිය අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පවසා සිටියේ මෙම ව්‍යාපෘතිය ඇරඹීමට පොලිස් අවසරය ලබා ගැනීම සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සැපයීම නිසා ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයට චෝදනා කිරීමට කමිටුවට සිදු වූ බවය. ඊට පිළිතුරු ලෙස ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය දක්වන්නේ මෙම ව්‍යාපෘතිය ඇරඹීම සම්බන්ධයෙන් එවකට තිබූ ජාතික පොලිස් කොමිසමත්, පොලිස්පතිතුමාත් හොඳින් දැන සිටි බවය. එසේම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වන කාලයේ හිටපු පොලිස්පතිවරු දෙදෙනෙක්ද ඊට සහාය දක්වා ඇත.

තවදුරටත් එම ආයතනය 2007 මාර්තු 21 වැනිදා පැවැත්වූ කමිටු රැස්වීමේ සටහන් වාර්තා ඉල්ලා සිටීමේදී පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තු කමිටුවක කිසිඳු වාර්තාවක් ප‍්‍රකාශයට පත් කිරීම බලයන් සහ වරප‍්‍රසාද සම්බන්ධ පාර්ලිමේන්තු පනතේ 09 වන වගන්තියේ ඊ කොටස යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බව දක්වමින් ලබා දීම ප‍්‍රතික්ෂේප කර ඇත.

එනිසා හිටපු පොලිස්පතිවරුන් හෝ වෙනත් පොලිස් නිලධාරීන් කමිටුවට පැවසූ දෑ ගැන එම ආයතනය දැනුවත් වී නැත. එමඟින් කමිටුව ස්වභාවික යුක්තියේ මුලික ප‍්‍රතිපත්තීන් වන ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක් ගැන අගතිගාමී නිගමනයකට එළැඹෙන විට ඊට විරුද්ධව කරුණු ඉදිරිපත් කිරීමට ඇති අවකාශ අහුරා ඇත.
මීට අමතරව කමිටුව දක්වා තිබූ රාජ්‍ය නොවන සංවිධාන විගණනයට ලක් නොවන බව කියන කරුණට පිළිතුරු දෙමින් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය දක්වන්නේ සිය ආයතනයේ ගිණුම් පිළිගත් විගණන ආයතනයක් මඟින් විගණනය කරනවා පමණක් නොව අන්තර්ජාලය ඔස්සේ ද ප‍්‍රචාරයට පියවර ගෙන ඇති බවයි. මෙම තේරීම් කමිටුව පැවැත්වෙන අතරතුර එහි සභාපතීත්වය දරමින් සිටි විජිත හේරත් මන්ත‍්‍රීතුමාගේ ප‍්‍රකාශය උපුටා දක්වමින් තම ආයතනය පිළිබඳ අහිතකර, පක්ෂග‍්‍රාහි,සාවද්‍ය හා අතාර්කික වාර්තා බොහොමයක් මාධ්‍යයන්හි පළවුවත් පාර්ලිමේන්තුවේ වරප‍්‍රසාද පනත යටතේ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තුරු මාධ්‍ය වාර්තාවලට ප‍්‍රතිචාර දැක්වීමෙන් එම ආයතනය වැළකී සිටියහ. නමුත් මාධ්‍ය වාර්තා පිළිබඳ කමිටුවට කරන ලද දැනුම් දීම් වලටද කමිටුවෙන් පෙරළා ප‍්‍රතිචාරයක් ලැබී නැත. එම වාර්තාවල පළවූ අසත්‍ය තොරතුරු මඟින් කමිටුව නොමඟ ගොස් පූර්ව නිගමන වලට එළැඹ ඇති බව තම ආයතනයට නිසැකවම ඔප්පු කර පෙන්වීමට හැකියාව තිබූ නමුත් ඊට අවස්ථාවක් ලබා නොදුන් බවද ඔවුන් දක්වා ඇත.

තවදුරටත් මෙම පොලිස් ව්‍යාපෘතියෙන් සමාජ යහපතට අහිතකර බලපෑමක් සිදුවේද යන්නත් එයින් කිසිඳු අයුරකින් ජාතික ආරක්ෂාවට අහිතකර බලපෑමක් සිදුකර ඇත්ද යන්නත් පිළිබඳ කරුණු දක්වමින් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය පවසන්නේ 2001 වසරේ සිදුකරන ලද මහජන මත විමසුම් සමීක්ෂණයෙහි ප‍්‍රතිඵලයක් ලෙස පොලිස් ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාවක් පැන නැඟුණ බවය. මින් පෙර කිසිදු සංවිධානයක් හෝ පොලීසිය විසින්ම හෝ පොලීසියේ යහපාලනය සම්බන්ධ ගැටලූ හඳුනා ගැනීමට පුළුල් උත්සාහයක් දරා නොතිබුණි. ශ‍්‍රී ලංකාව විසින් පිළිගෙන ඇති එක්සත් ජාතීන්ගේ ඳුෂණයට එරෙහි ජාත්‍යන්තර සම්මුතිය යටතේ රජය සිවිල් සමාජය හා එක්ව ඳුෂණය පිටු දැකීමට බැඳී සිටී. එබැවින් මෙවැනි මහජන ආයතන සිවිල් සමාජය හා එක්ව සිදුකරන කවර උත්සාහයක් වුව වැළැක්වීමට අසාධාරණ ලෙස මැදිහත් වීමක් සිදුවුවහොත් එය රටවැසියාගේ යහපතට හා රටේ ප‍්‍රතිරූපයට අයහපත් ලෙස බලපානු ඇති බවද එම ආයතනය දක්වයි.

ජාතික ආරක්ෂාවට මෙම ව්‍යාපෘතිය අහිතකර ලෙස බලපා ඇති බවට කමිටුව කළ නිගමන සම්පුර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරමින් මෙම ආයතනය දක්වා සිටියේ ධනාත්මක තොරතුරු, පොලීසියේ ආයතනික ව්‍යුහය හා පොලිස් කාර්යයන් යන ප‍්‍රධාන කරුණු ඇසුරෙන් පමණක් ව්‍යාපෘතිය සිදුකළ බවයි. ඕනෑම ශිෂ්ට සමාජයක් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක වන රටක මෙම තොරතුරු ජනතාවට නිදහසේ ලබා ගැනීමට හැකි විය යුතුය. මෙම ව්‍යාපෘතිය සඳහා පොලිස් බුද්ධි අංශය, රහස්‍ය තොරතුරු හෝ විශේෂ කාර්ය බලකායේ කටයුතු පිළිබඳව කිසිඳු තොරතුරක් ලබා නොගත් අතර මෙමඟින් සොයා බැලූවේ පොලීසියේ ප‍්‍රතිපත්තිමය කාරණා ගැන පමණක් නිසා මින් ජාතික ආරක්ෂාවට කිසිදු අහිතකර බලපෑමක් සිදු වී නැති බවයි.

කමිටුවේ අතුරු වාර්තාවේ සඳහන් ” රටෙහි බෙදුම්වාදී ක‍්‍රියාවන්ට අධාර සපයන බවට අපකීර්තිමත් නාමයක් හිමි කරගෙන සිටින නොරාඩ් සංවිධානය විශාල මුදලක් වැය කරමින් රාජ්‍ය නොවන සංවිධාන ඔස්සේ මෙම ව්‍යාපෘතිය දියත් කොට ඇත” යන්න තරයේ ප‍්‍රතික්ෂේප කරමින් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය පවසන්නේ, කිසිදු ආධාර කණ්ඩායමක සහාය නොමැතිව සැලසුම් කරන ලද මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට ආධාර කණ්ඩායම්වලට ආරාධනා කරන ලද්දේ තමන් විසින් බවයි. බොහෝ ආධාර කණ්ඩායම් ගණනකින් තෝරාගත් නොරාඩ් සංවිධානය ජාත්‍යන්තර කීර්තියට පත් එමෙන්ම ව්‍යාපෘතියක අන්තර්ගතයන් සම්බන්ධයෙන් ඇඟිලි නොගසන බවට අවංකභාවයක් පෙන්වා ඇති ආධාර සංවිධානයකි. එපමණක් නොව එය මෙරට විදේශ කටයුතු , කර්මාන්ත, ප‍්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධන, ධීවර සහ ජලජ සම්පත්, සංස්කෘතික යන අමාත්‍යාංශයන්ට සහ සංස්කෘතික අරමුදල යන රාජ්‍ය ආයතනවලට ආධාර සපයන ජාත්‍යන්තර සංවිධානයකි.

පොලීසියේ රහස්‍ය තොරතුරු ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය විසින් නොර්වේ රටට විකුණා ඇති බවත්, මෙම ව්‍යාපෘතිය මඟින් එබඳු තොරතුරු ලබා ගැනීමට නොර්වීජියානු රාජ්‍ය නොවන සංවිධාන සහ ට‍්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය අතර ගිවිසුමක් ඇති කරගෙන ඇති බවත් කියමින් කමිටුවේ සභාපතිවරයා කළ ප‍්‍රකාශය දැඩි ලෙස හෙළා දකින බව එම ආයතනය පවසයි. පොලීසියේ පුර්ව අවසරයකින් තොරව ව්‍යාපෘතියෙහි කිසිදු තොරතුරක් ජනතාව වෙත මුදා නොහැරිය බවත් එවැනි සෑම විටම ඊට පොලීසියේ උපදේශනය ලබා ගත් බවත් එම ආයතනය වැඩි දුරටත් සඳහන් කරයි.

කමිටුව කර ඇති විමර්ශනයේදී මූලිකවම විමසීම් කර ඇත්තේ පොලීසියෙන් තොරතුරු මුදා හැරීමේ ප‍්‍රශ්නය සම්බන්ධයෙනි. ඕනෑම ශිෂ්ට සම්පන්න රටක පාර්ලිමේන්තුව ඇතුළුව සෑම ආයතනයක්ම තොරතුරු ලබා දීමේ අයිතියට ගරු කරනු ලබන අතර බොහෝ රටවල පාර්ලිමේන්තුව විසින් සම්මත කොට ගත් රජය විසින් ගරු කරනු ලබන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ නීති පවතී. පාර්ලිමේන්තුව මගින් එම අයිතියට අභියෝග කිරීමේ අහිතකර ප‍්‍රතිඵලය වනුයේ නීත්‍යානුකූල තොරතුරක් පවා මෙරට ජනතාවට ලබාදීමට මැලිවන තරමටම රාජ්‍ය ආයතන පසුගාමී වීමයි.

තවද මහජන මුදලින් නඩත්තු වන කිසිඳු ආයතනයක කටයුතු පරීක්ෂාව සඳහා කිසිඳු මහජන ආයතනයක හෝ පාර්ලිමේන්තුවේ අවසරයක් සිවිල් සමාජයට අනවශ්‍යය බවද ට‍්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය දක්වා සිටියි.

මෙරට තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ නීති බල පවත්වන්නේ නම් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය හෝ වෙනත් කිසිදු ආයතනයකට තොරතුරු ලබා ගැනීම සඳහා පොලීසිය මත යැපෙන්නට සිදුනොවන බව දක්වන එම ආයතනය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ලබා ගත හැකි සියලූ තොරතුරු ඔවුන් නියෝජනය කරන මහජනතාවටද ලබා ගැනීමට හැකියාවක් සහිත නීතිමය රාමුවක් ඇති කළ යුතු බව කියා සිටියි. එබැවින් මන්ත‍්‍රීවරුන්ට ලබාගත හැකි තොරතුරු සියල්ල මහජනතාවටද ලබාගත හැකිවන පරිදි තොරතුරු ලබා ගැනීමේ අයිතිය ආරක්ෂා වන නීති පද්ධතියක් නිර්දේශ කරන්නැයි කමිටුවෙන් ඉල්ලා සිටිමින් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත.

i. පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාධාරණ සහ විනිවිදභාවයෙන් යුතු පිළිවෙතක් ඇතිකොට, එමඟින් කමිටු සමාජිකයන්ට තම බලය අයථා ලෙස පරිහරණය කිරීමට ඇති ඉඩකඩ අහුරා දැමිය යුතුය. ඔවුන්ට තමන් අයත් දේශපාලන පක්ෂවල න්‍යාය පත‍්‍රයන් වර්ධනය කරගැනීමට කමිටු ක‍්‍රියාකාරකම් යෙදවීම හෝ වරප‍්‍රසාද තොරතුරු අයිතිය අයථා පරිහරණය කිරීම වැළැක්විය යුතුය.

ii. පුද්ගලයන් සහ සංවිධාන සම්බන්ධයෙන් තීන්දු ගනු ලබන සියලූ පාර්ලිමේන්තු කමිටු ස්වභාවික නීතියේ මුලික අංශ දෙක ඉහළින් ගරුකළ යුතුය. (එනම් තමන්ගේ විනිශ්චය කාරයා තමන් නොවිය යුතුය, තීන්දුවක් ගැනීමට පෙර සියළු සාධාරණ අවස්ථාවන් අදාළ පාර්ශ්ව වෙත ලබා දිය යුතුය.)

iii. කමිටුව බාහිර බලවේගයන් මඟින් පාලනය නොවන බවටත්, දේශපාලන න්‍යායන්, කමිටු සාමාජිකයන්ගේ පුද්ගලික සැලසුම් සහ පක්ෂ ප‍්‍රතිපත්තීන් කමිටුවේ තීරණ ගැනීමේදී සාධක නොවන බවටත් තහවුරු කිරීම කමිටුවේ පරම යුතුකම වන්නේය.

iv. පාර්ලිමේන්තු වරප‍්‍රසාද පනතේ 09 වැනි වගන්තියේ ඊ කොටස ඉවත් කර, එය සංශෝධනය කොට, කමිටුවක කටයුතු හා විභාගයන් පිළිබඳ මහජනතාවට තම අදහස් දැක්වීමට ඇති අයිතිවාසිකම තහවුරු කළ යුතුය.

Back to Home

No comments: